කෙහෙළියට පුතාට හා දියණියට අධි චෝදනා

කෙහෙළියට පුතාට හා දියණියට අධි චෝදනා

(අකිලා නදීෂානි බණ්ඩාර)
අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් සිටි කාලසීමාව තුළ අනීතික ලෙස සිය පවුලේ අය හා හිතවතුන් අමාත්‍යාංශයේ සේවයේ යොදවා එකී වැටුප් හා දීමනා අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු විය.
ඉන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකට අදාළව මෙම අධි චෝදනා භාර දෙනු ලැබීය.
ඉන් අනතුරුව ඔවුන් රුපියල් පනස්දහස බැගින් වූ මුදල් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙසත් නියෝග කළේය.
මේ අතර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල යන අයට එරෙහිව තවත් නඩුවක් සඳහා මෙහිදී අධිචෝදනා භාරදීම සිදු කළේය.
ඉන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරීමට ද නියෝග කෙරිණි.
එම නඩුව යළි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජනවාරි මස 20 වැනිදා කැඳවීමටද නියෝග කෙරිණි.
අධිකරණ විසින් නිකුත් කළ නොතීසි නියෝග අනුව විත්තිකරුවන් සියලු දෙනා විවෘත අධිකරණය හමුවේ ‘පෙනී ‘සිටියහ.

Share This