කෙහෙළියගේ නිවසේ මල්වඩම් නඩුවට නීතිපති උපදෙස් ගන්න නියෝග

කෙහෙළියගේ නිවසේ මල්වඩම් නඩුවට නීතිපති උපදෙස් ගන්න නියෝග

(අකිලා නදීෂානි බණ්ඩාර)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ කොළඹ ප්‍රදේශයේ පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබා නිවැසියන් බිය ගැන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.
එම සිද්ධියට අදාළව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත යුතුව ඇති එබැවින් ඒ සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියෝග කෙරුණි.
එම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී අධිකරණයෙන් එසේ නියම විය.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් ඉකුත් ජනවාරි මස පළමුවන දින තම පියාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමත් තබා නිවැසියන් බියගන්වා අප්‍රසාදය පළ කළ බව පවසමින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය කුරුඳුවත්ත පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන සිදු කෙරේ.
සැකකාර විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඇතුළු පිරිසක් එම නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තබා ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශය තුළ සිදුව තිබෙන වංචාව සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කිරීමට මිස ඔවුන් බිය ගැන්වීමට හෝ තර්ජනය කිරීමට නොවන බවද වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි මර්වින් සිල්වා හා රජිත ලක්මාල් යන නීතිඥවරුන් පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම් දී තිබුණි.

Share This