කෙනඩි ඝාතනයේ රහසිගත ලේඛනවලින් හෙළිවන කොළඹ CIA රහස් කඳවුර

කෙනඩි ඝාතනයේ රහසිගත ලේඛනවලින් හෙළිවන කොළඹ CIA රහස් කඳවුර

1960 ගණන්වල කොළඹ නගරයේ සැඟව තිබූ ඇමෙරිකානු CIA රහස් කඳවුරක් ගැන ඉව වැටෙන්නේ පසුගිය සති දෙකක කාලය තුළය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ 35 වන ජනාධිපතිවරයා වූ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි (ජෝන් එෆ්. කෙනඩි, JFK) ඝාතනයට අදාලව පසුගිය සතියක නිකුත් කරන ලද රහසිගත ලේඛන මගිනි. කෙනඩි ඝාතනයට සම්බන්ධව වසර ගණනාවක් සඟවා තිබූ ලිපිගොනු රැසක් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයක් යටතේය. මෙම රහසිගත ලිපිගොනු 1960 ගණන්වල දකුණු ආසියාවේ පැවැති ඇමෙරිකානු රහසිගත බුද්ධි මෙහෙයුම් කඳවුරු ගැන තොරතුරු හෙළි කරයි.

1960 ගණන්වලදී ගෝලීය සුපිරි බලවතුන් සඳහා තීරණාත්මක සටන් බිමක් වූයේ දකුණු ආසියාවයි. එක්සත් ජනපද ජාතික ලේඛනාගාර සහ වාර්තා පරිපාලනය විසින් නිකුත් කරන ලද ලිපිගොනුවලට අනුව ඇමෙරිකාවේ CIA සංවිධානයට ලොව විවිධ ස්ථානවල රහසිගත කඳවුරු තිබී ඇත. මෙම රහස් කඳවුරු ‘කලු අඩවි’ ලෙසද හඳුන්වයි. ඒවා භාවිත කරන්නේ සැක සහිත ත්‍රස්තවාදීන් රඳවා තබා ගැනීමට සහ ප්‍රශ්න කිරීම ඇතුළු විවිධ බුද්ධි මෙහෙයුම් සඳහාය. අදාළ ලේඛනයේ සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පමණක් නොව තවත් දකුණු ආසියාතික රටවල නගරවල මෙම ඊනියා CIA කඳවුරු පිහිටා තිබී ඇත. එනම් ඉන්දියාවේ කල්කටා, නවදිල්ලිය සහ පාකිස්තානයේ රාවලපින්ඩි යන නගරවලය.

කොළඹ පැවති කඳවුරේ කුමක් සිදුවූවාද යන්න පිළිබඳ තොරතුරු තවමත් පවතින්නේ රහසිගතවය. නමුත් ඇමෙරිකාව වැනි දැවැන්ත රටකට ශ්‍රී ලංකාව වැනි කුඩා දිවයිනක CIA රහස් කඳවුරක් තැනීමට තරම් තිබූ අවශ්‍යතාව කුමක්දැයි හරි අපූරුවට පැහැදිලිය. එනම් ශ්‍රී ලංකාවේඇති උපායමාර්ගික වැදගත්කමයි.

සීතල යුද්ධය අතරතුර ශ්‍රී ලංකාව බොහෝ රටවලට වැදගත් භූ දේශපාලනික මධ්‍යස්ථානයක් විය. ඇමෙරිකානුවන් මෙය ප්‍රයෝජනයට ගනිමින් ඔවුන්ගේ රහසිගත තොරතුරු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන්නට ඇතැයි සැලකේ. මෙහිදී ඔවුන්ගේ වැඩකටයුතුවල පහසුව තකා එම කඳවුර කොළඹ නගරයේ පිහිටුවන්නට ඇත. කොලඹ CIA කඳවුරේ ක්‍රියාකාරකම්වලට කලාපයේ සෝවියට් සහ චීන බලපෑම නිරීක්ෂණය කිරීම, දේශීය දේශපාලන ව්‍යාපාර පිළිබඳ බුද්ධි තොරතුරු රැස් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික සන්ධාන සුරක්ෂිත කිරීම ඇතුලත් වන්නට ඇතැයි විශ්ලේෂකයෝ යෝජනා කරති.

ජනාධිපති කෙනඩි ඝාතනය වන්නේ 1963 නොවැම්බර් මස 22වන දින ඔහුට එල්ල වුණු මාරාන්තික වෙඩි ප්‍රහාරයකිනි.එදින ඔහු සිය බිරිඳ ජැකලින් කෙනඩිසහ උප ජනාධිපති ජොන්සන් සමග ටෙක්සාස් ප්‍රාන්තයට පැමිණියේ මැතිවරණ ව්‍යාපාරයකට සහභාගි වීමටය. ඔහු රථ පෙරහැරකින් එල්ම් වීදියේ නිරිත දෙසට හැරී ඩලස් නගරයේ මායිමේ පිහිටි ඩිලි ප්ලාසා ගොඩනැගිල්ල අසලට පැමිණෙන විට දහවල් 12.30ට පමණ විය. එදින කෙනඩි මෙම ගමනට සහභාගි වන විට මෙය ඔහුගේ ජීවිතයේ අවසන් දිනය බව මදකුදු නොසිතන්නට ඇත. ඔවුන් ඩලස් නගරයට ළඟාවනවාත් සමග මග දෙපස වීදිවල රැස්ව සිටි ජනතාව ජනාධිපතිවරයා පිළිගත්තේ සතුටින් අත්පොළොසන් දෙමිනි. ජනතාවගෙන් ලැබෙන උණුසුම් පිළිගැනීම නිසා කෙනඩි රැගත් රථ පෙළපාළිය මාර්ගයේ ගමන් කරන්නට වූයේ ඉතා සෙමිනි. කෙනඩි පිරිසට අත වනා ආචාර කරමින් වාහනයේ ගමන් කරමින් සිටින විට හදිසියේම එල්ල වූ වෙඩි ප්‍රහාරයක් ඔහුට මරණය කැඳවූයේ කිසිවෙකුටත් සිදුවූයේ කුමක්දැයි සිතාගැනීමටවත් ඉඩක් නොතබමිනි.

කෙනඩිගේ ඝාතනයට වගකිව යුත්තා ලෙස හඳුන්වනු ලැබුවේ ලී හාවි ඔස්වල්ඩ් ය. ඔහු මාක්ස්වාදය වැළඳගෙන කලක් සෝවියට් සංගමයට පළා ගිය හිටපු එක්සත් ජනපද මැරීන් භටයෙකුය. නමුත් කෙනඩි ඝාතනයට යොදාගන්නා ලද ගිනි අවිය සහ තවත් දේ නිරීක්ෂණය කිරීමෙන් පසුව ඔහුගේ ඝාතනය පසුපස වෙනත් අදිසි හස්තයක් ක්‍රියාත්මකව තිබෙන්නට ඇති බවට සැක මතුවන්නට විය. අත්අඩංගුවට ගත් ඔස්වල්ඩ්ව මිනීමැරුම් චෝදනාවකට ලක් නොවීය. එයට හේතුව ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව වෙනත් ස්ථානයකට මාරු කර යවන ලද අතර එහිදී රාත්‍රී සමාජ ශාලා හිමිකරුවෙකු වන ජැක් රූබි විසින් ඔහුව වෙඩි තබා ඝාතනය කිරීමයි.

මෙයින් කෙනඩි ඝාතනයේ සාක්ෂි බොහොමයක් මැකී ගියේය. අනතුරුව ඔහුගේ ඝාතනය පසුපස ඇති සැඟවුණු රහස කාලයක් පුරා නොවිසඳුණු අභිරහසක් බවට පත් විය.

නමුත් එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප්ගේ නැවත තේරී පත්වීමත් සමග ඔහුට අවසන් කිරීමට නොහැකි වූ කාර්‍යයක් සම්පූර්ණ කිරීමට ඔහු පියවර ගෙන ඇත. ඒ අනුව මෙතෙක් රහසිගතව සඟවා තිබූ කෙනඩි ඝාතනයේ සුල මුල හෙළිවන ලිපිගොනු විශාල ප්‍රමාණයක් ඔහු විසින් නිකුත් කර තිබේ. ඒවායේ අඩංගු දේ මොනවාදැයි සම්පූර්ණ විස්තරයක් මෙතෙක් හෙළිව නැතත් ඉන් මතුවුණු එක් විෂේශ කරුණක් නම් එකල දකුණු ආසියාවේ පවත්වාගෙන ගොස් තිබූ ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවා කඳවුරුය. ඉන් එකක් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පිහිටා තිබූ බවට වන හෙළි කිරීම ගෝලීය බුද්ධි මෙහෙයුම්වල ශ්‍රී ලංකාවේ නොකියූ ඉතිහාසය ඉස්මතු කරයි. මේ ගැන වඩාත් රහසිගත ලිපිගොනු ලබාගත හැකි වූ විට එවක කොළඹ CIA හි පැවැත්මේ සම්පූර්ණ කතාව හෙළිදරව් වනු ඇත.

සඳුනි තිලකරත්න

Share This