කීයක් හරි ඉතුරු කරමුද – මාසික වැටුප මෙහෙම සැලසුම් කරමු

කීයක් හරි ඉතුරු කරමුද – මාසික වැටුප මෙහෙම සැලසුම් කරමු

මේ ලෝකෙ වේගවත්ම දේවල් මොනවද කියලා 10 දෙනෙක්ගෙන් ඇහුවොත් 08ක්ම කියයි ”සැලරි එක” කියලා.

මාසයක් තිස්සෙ සෑහෙන්න වැඩ කරලා වැඩ කරලා සැලරි එක අතට ගන්නවා විතරයි, කොහෙන් යනවද මොනව වෙනවද කියලා අපිවත් දන්නෙ නෑ.

ඕක වැඩියෙන්ම දැනෙන්න ගන්නෙ මාසෙ අන්තිමට දෙතුන් දෙනෙක්ටම ණය වුණාට පස්සෙ. ඇයි ඉතින් ඊළඟට ඒ ණය ටික ගෙවන්න ආයෙම මොකක් හරි ”රෝලක් ගහන්න” එපැයි.

ඉතින් අපි හිතුවා මාසික වැටුප හරි හැටි කළමනාකරණය කරගන්න පුංචි පුංචි දේවල් ටිකක් ඔයාට කියන්න.

මෙහෙමවත් කරලා බලමුද කීයක් හරි ඉතුරුත් කරගෙන ණය නොවී ඉන්න පුළුවන් වෙයිද කියලා.

” Do not save what is left after spending. But spend what is left after saving “ කියලා ලොව හොඳම ආයෝජකයා වන Worren Buffet කියනවා.

ඒ කියන්නෙ ඔබ ඔබේ වියදම්වලට පෙර ඔබ ඔබට කළ යුතු ගෙවීම වැදගත් කියන එක. සරලවම කිව්වොත් ඔබ ඔබේ අනාගතය වෙනුවෙන් ඉතිරි කළ යුතු බව.

George s Clason රචනා කරන The Richest Man In Babylon කෘතියෙන් අපට පෙන්වාදෙන පළමු සහ වැදගත්ම කරුණත් ඒක.

Pay yourself first- Save at least 10% of whatever you earn

ඉතින් එහෙනම් සැලරි එක අතට ගත්ත හැටියේම ඔයා කරන්න ඕනි ඔයා වෙනුවෙන් ඉතිරි කරන එක.

සාමාන්‍යයෙන් ඔබේ ආශාවන් සහ අවශ්‍යතාවයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව ඔබ ඔබේ මූලිකම අවශ්‍යතාවයන්ට සාපේක්ෂව ඔබේ ආශාවන්ට මුල්තැන දෙන අයෙක් විය හැකියි.

ඒ කියන්නෙ හරියට හදවත සහ මොළය අතර ගනුදෙනුව වගේ.

ඉතින් සැලරි එක අතට ආව හැටියේම සටහනක් හරි දාගන්න ඔයාට අවශ්‍ය මොනවද, අත්‍යාවශ්‍ය මොනවද සහ ඔයා ආසාවෙන් ඉන්නෙ මොනවටද කියලා.

ඒකට අපි කියනවා ප්‍රමුඛතා ලැයිස්තුව කියලා. අන්න එහෙම ප්‍රමුඛතා ලැයිස්තුවක් හදාගෙන ඒ අනුව සැලරි එක තීරණය කරන්න.

මේක ඔබට ඔබේ මූලිකම අවශ්‍යතා ,ආයෝජන සහ ඉතුරුම් ,වුවමනා යනාදිය වෙනුවෙන් වැටුප නිසි ලෙස ප්‍රතිශතාත්මකව බෙදා වෙන්කිරීමෙන් සිදුකරන්නත් පුළුවන්.

මේ විදියට කළාම සියල්ලම ආවරණය වන නිසා අමුතුවෙන් ඔබට ඔබේ වැටුප කළමනාකරණය කරගැනීම පිළිබඳව අවධානය යොමුකිරීමට සිදු වෙන්නෙ නෑ.

නමුත් වැදගත්ම දේ, ඊට පෙර ඔබ ඔබේ අවශ්‍යතා සහ වුවමනා පැහැදිලිවම සටහන් කරගන්න එක.

ඔයාට කරන්න පුළුවන් තවත් පහසු දෙයක් තමයි සතිපතා සහ මාසික අයවැයක් සැකසීම. අර මුලින් කිව්වා වගේම ඊට අනුව වැඩ කරන්න හුරුපුරුදු වෙනවා නම් සැලරි එක ගාණට කළමණාකරණය කරගන්න එක පහසු දෙයක්.

අද වෙද්දි දියුණු වෙලා තියෙන තාක්ෂණයත් ඔබට මේ සඳහා සහයට ගන්න පුළුවන්. ඒ කියන්නෙ ස්මාර්ට් විදියට ඔබට ඔබේ වැටුප කළමණාකරණය කරගන්න පුළුවන්. ඒ සඳහා සුදුසු යෙදුමක් ජංගම දුරකථනයට එකතු කරගත හැකියි.

අවසාන වශයෙන් කියන්න ඕනි ඉතුරු කරන ගමන් ආයෝජනය කරන්නත් පටන් ගන්න.

ඒ අනුව ඔබට ඉඩම් සහ දේපළ, රත්‍රං වැනි වත්කම් ආශ්‍රිතව ආයෝජනය කරන්න පටන් ගන්න පුළුවන්.

ඉතින් එහෙනම් මේ කිව්ව පුංචි දේවල් ට්‍රයි කරලා බලමුද එන මාසෙ ඉදන්වත් කීයක් හරි ඉතිරි කරගෙන ණය නොවී ඉන්න.

Share This