කිලෝ 32ක කුෂ් කටුනායදී රේගු දැලේ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අද (10) දින විදේශිකයින් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකාවට විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය තොගයක් සූක්ෂමව රැගෙන ඒමට ගත් උත්සාහයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට සමත් විය.
අදාළ සැකකරුවන් දෙදෙනා කැනඩා ජාතිකයන් වන අතර, වයස අවුරුදු 25ක් වූ පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 29ක් වූ කාන්තාවක් ලෙස හඳුනාගෙන ඇත. ඔවුන් 2026 මාර්තු 10 වන දින පෙරවරු 11.15ට පමණ තායිලන්තයේ බැංකොක් නගරයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 403 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.
ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් සිදු කරන ලද ඉලක්කගත පරීක්ෂාවකදී සැකකරුවන්ගේ ගමන් මලු තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 32.159 ක කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් අනාවරණය කර ගන්නා ලදී. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් 321,590,000ක් පමණ වේ.
එම අවස්ථාවේදීම සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සොයාගත් මත්ද්‍රව්‍ය තොගයද රේගු භාරයට ගන්නා ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකර ඇති අතර, සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට (PNB) භාරදීමට නියමිතය.
