කියුබාවට එරෙහිව ඇමෙරිකා සම්බාධක පිළිකුලෙන් හෙළා දකිනවා

කියුබාවට එරෙහිව ඇමෙරිකා සම්බාධක පිළිකුලෙන් හෙළා දකිනවා

කියුබානු ජනරජයට එරෙහිව එක්සත් ජනපද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික සම්බාධක දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි.

කියුබාව සමඟ නීත්‍යානුකූල වෙළඳාමේ යෙදෙන ස්වෛරී රාජ්‍යයන්ට සාපරාධී ලෙස සැලකීමටත් ඔවුන්ට දඬුවම් කිරීමටත් උත්සාහ කරන මෙම තීරණය, ආර්ථික යුද්ධයක් ප්‍රකාශයට පත් කිරීමක් සහ අමු අමුවේ සිදුකරන අධිරාජ්‍යවාදී බලහත්කාරකමකි. විශේෂයෙන් කියුබාවේ ඉන්ධන සැපයුම් රටවල් සම්බන්ධයෙන් මෙකී තර්ජනය ක්‍රියාත්මක වේ. කියුබාව එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට ”අසාමාන්‍ය හා අතිවිශේෂ තර්ජනයක්” ලෙස හුවා දක්වමින් ඊනියා ”ජාතික හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කිරීම හාස්‍යජනක වනවා පමණක් නොව, එයින් හෙළිවන්නේ සත්‍යය, ජාත්‍යන්තර නීතිය සහ ලෝක මහජන මතය පිළිබඳව එක්සත් ජනපද පාලක පන්තිය තුළ ඇති දැඩි අවඥාවයි.

දශක හයකට වැඩි කාලයක් තිස්සේ, ස්වාධීන සමාජවාදී මාවතක් තෝරා ගැනීම නිසා සමස්ත ජාතියකටම සාමූහික දඬුවම් පමුණුවමින්, ඔවුන්ගේ ආර්ථිකයේ හුස්ම හිර කිරීමට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ඇති කිරීමට ඉලක්ක කර ඇති නීති විරෝධී සහ අමානුෂික ආර්ථික සම්බාධකවලින් කියුබානු ජනතාව පීඩා විඳියි. මෙම නව ක්‍රියාමාර්ගය මගින් තුන්වන පාර්ශවීය රටවල් බියගන්වමින් සහ සම්බාධක පැනවීමට තර්ජනය කරමින් එකී අපරාධ තීව්‍ර කරන අතර, එමඟින් ලෝක වෙළඳාම මත එක්සත් ජනපදයේ ආධිපත්‍යය තහවුරු කිරීමටත් අනෙකුත් ජාතීන්ගේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමටත් උත්සාහ දරයි.

මෙම විධායක නියෝගය ජාත්‍යන්තර නීතිය, ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්ම සහ ලතින් ඇමරිකාව – කැරිබියන් කලාපය සාමකාමී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ එකඟතාවන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරයි. කලාපයේ සහ ලෝකයේ සාමයට, ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන්නේ කියුබාව නොව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බව මෙයින් නැවත වරක් සනාථ වේ.

අන්‍යෝන්‍ය ගෞරවය, අතපෙවීම් නතර කිරීම සහ ජාත්‍යන්තර නීතියේ එකඟතා මත පදනම් වූ සංවාදයකට ඇති කැමැත්ත කියුබාව නැවත නැවතත් පෙන්වා දී ඇත. කියුබාව කිසිදු රටකට තර්ජනයක් නොවන බව ලෝකයම පිළිගන්නා කරුණකි. ඒ වෙනුවට, ඔවුන් වෛද්‍ය ආධාර, ආපදා සහන සහ ජාත්‍යන්තර සහයෝගීතාවය හරහා, විශේෂයෙන් ගෝලීය දකුණේ රටවල් සමඟ අඛණ්ඩව ලෝක සහයෝගීතාවයට දායක වී ඇත.

තම ස්වෛරීභාවය සහ අභිමානය ආරක්ෂා කිරීමට කැපවී සිටින ජනතාවකගේ අධිෂ්ඨානය බිඳ දැමීමට කිසිදු ආර්ථික පීඩනයකට, බොරුවකට හෝ ආක්‍රමණශීලීත්වයකට නොහැකි බව ඉතිහාසය ඔප්පු කර ඇත. කියුබානු ජනතාවගේ ධෛර්යය සහ නොසැලෙන බව අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහිව සටන් කරන සියලුම පීඩිත ජාතීන්ට ධෛ©ය සපයයි.

මෙම තීරණාත්මක මොහොතේ, ප්‍රගතිශීලී බලවේග, කම්කරු ව්‍යාපාර සහ සමාජවාදී පක්ෂ ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මෙම සාපරාධී සම්බාධකවලට එරෙහිව හඬ නැගිය යුතු අතර ආර්ථික ආක්‍රමණ සහ සාමූහික දඬුවම් සාමාන්‍යකරණය කිරීම ප්‍රතික්ෂේප කළ යුතුය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියුබානු ජනතාව, කියුබානු විප්ලවය සහ එම රටේ ස්වෛරීභාවය, සමාජ යුක්තිය සහ ස්වයං-තීරණ අයිතිය උදෙසා ඔවුන් ගෙන යන සාධාරණ අරගලය සමඟ නොසැලෙන සහයෝගීතාවයෙන් යුතුව පෙනී සිටියි.

කියුබාවට අත නොතබනු! එක්සත් ජනපද සම්බාධක වහාම ඉවත් කරනු! අධිරාජ්‍යවිරෝධී ජාත්‍යන්තර සහයෝගීතාවයක් වෙනුවෙන් පෙලගැසෙමු !

Share This