ක්‍රිකට් පිටියේ වැඩ පෙන්නූ ඩී.එස්.ගේ ඉනිම නිමයි

ක්‍රිකට් පිටියේ වැඩ පෙන්නූ ඩී.එස්.ගේ ඉනිම නිමයි

එන්. අමරසිංහ

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම පා දඟ පන්දු යවන්නෙකු වන ඩී. එස්. ද සිල්වා පෙරේදා (15දා) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මිය යන විට අසූ තුන්වන (83) වියෙහි පසු වූ ඒ මහතා කෙටි කලක් රෝගාතුරව පසුවූ අතර මියයන විට පදිංචිව සිටියේ එංගලන්තේ ලන්ඩන් නුවරය.

මෙරට පාසල් සහ ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය වර්ණවත් කළ ඩී. එස්. ද සිල්වා 70 දශකයේ අග භාගය වන විටත් එංගලන්තයේ ලැන්කෂයර් ඇතුළු ප්‍රාන්ත ක්‍රිකට් තරග නියෝජනය කිරීමේ වරම් දිනාගත් සුවිශේෂී ක්‍රීඩකයෙකි.
1982 වසරේ ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට ඔහු කැඳවා ගත්තේත් එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟ ක්‍රීඩා කරමින් සිටියදීය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 39 ක් විය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් හිමි කරගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙසත් ඔහුගේ නම ලිය වී තිබේ.

1942 ජූනි මස 11 වැනිදා ගාල්ලේ දී උපත ලැබූ දන්දෙනියගේ සෝමචන්ද්‍ර ද සිල්වා ක්‍රිකට් පිටියට අවතීර්ණ වුයේ ගාල්ල මහින්ද විද්‍යාලයෙනි. පසුව ඔහු මොරටුව වේල්ස් කුමාර විද්‍යාල කණ්ඩායම නියෝජනය කළේය.
1975 මුල්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වීමටද ඩී.එස්. සමත් විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 12 කට ක්‍රීඩා කළ ඩී.එස්. ද සිල්වා පිතිකරුවකු ලෙස ලකුණු 406 ක් රැස් කර ගත් අතර පාදඟ පන්දු යවන්නෙකු ලෙස ටෙස්ට් කඩුලු 37ක් දවාගැනීමට සමත්ව ඇත.
ඔහුගේ ටෙස්ට් පිතිකරු භූමිකාව තුළ අර්ධ ශතක දෙකකට හිමිකම් කියන අතර ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 61කි.
ටෙස්ට් පන්දු යවන්නෙකු ලෙස තම කෙටිකාලීන ටෙස්ට් ක්‍රිකට් ජීවිතය තුළ කඩුලු 37ක් දවා ගත් ඔහු එහිදී තම හොඳම පන්දු යැවීම ලෙස වාර්තාකර තිබෙන්නේ ලකුණු 59කට කඩුලු 5ක් දවා ගැනීමයි. ඒ පකිස්ථාන කණ්ඩායමට එරෙහිවය. එය ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා පොත්වල ලියැවී ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පන්දු යවන්නෙකු කඩුලු 5ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසය.

ජාත්‍යන්තර එක්දින තරඟ 41 වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩී.එස්. එහිදී කඩුලු 32ක් ලබාගෙන ඇත.
ඩී. එස්. ද සිල්වා ටෙස්ට් තරග දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වයද ලබා දී තිබෙන අතර ඒ 1983 වසරේදී නවසීලන්තය සංචාරයේදී.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් අනතුරුව පුහුණුකරුවෙක් සහ කළමනාකරුවෙක් ලෙස ක්‍රිකට් පරිපාලනයට එක් වුණු ඩී.එස්. ද සිල්වා 2009-2011 කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙසත්, තවත් වසර කිහිපයක් තේරීම් කමිටු සාමාජිකයෙක් සහ තේරීම් කමිටු සභාපතිවරයකු ලෙසත් කටයුතු කළ ප්‍රවීන ක්‍රිකට් පරිපාලකයෙකි.

 

Share This