ක්‍රිකට් තරඟයක් නිසා හිරගෙදරට යන්න වුණ විශ්වවිද්‍යාල සිසුන්

ක්‍රිකට් තරඟයක් නිසා හිරගෙදරට යන්න වුණ විශ්වවිද්‍යාල සිසුන්

ක්‍රිකට් තරඟයක් නිසා හිරගෙදරට යන්න වුණ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ගැන කන වැකෙන්නේ රුහුණු සරසවියෙනි. සහෝදරවරුන් අතර පටන් ගත් මහත්වරුන්ගේ සෙල්ලම අවසන් වූයේ සිසුන් හය දෙනෙකුව රෝහල් ගතකරමින් සහ තවත් විසි එක් දෙනකුව බන්ධනාගාර ගත කරමිනි. මේ සියල්ල දෙස බලා සිටින අයකුට හෙට දවසේ රට බාර ගැනීමට සූදානම්ව විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන උගත් බුද්ධිමතුන්ගේ ඉවසීම සහ දරා ගැනීම කොතෙක්දැයි අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.

දිනය පසුගිය 20වන සඳුදා ය. වෙනදා මෙන්ම එදින ද රුහුණු සරසවියට සාමාන්‍ය දිනයක් විය. එහෙත් එදින ඔවුන් ලක ලැහැස්ති වී තිබුණේ වාර්ෂිකව සිදුකරනු ලබන එක්තරා සුවිශේෂී කටයුත්තකට ය. ඒ සරසවි සිසුන් අතර වාර්ෂිකව පවත්වනු ලබන විශ්වවිද්‍යාල ක්‍රිකට් තරඟය පැවැත්වීමට ය. සාමාන්‍යයෙන් මෙවන් සැලසුමක අරමුණු කිහිපයකි. සිසුන් අතර සුහදත්වය වර්ධනය කිරීම, ක්‍රීඩාවට දස්කම් දක්වන අයට අවස්ථාවන් නිර්මාණය කර දීම සහ ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මොහොතකට බැහැරව විනෝදය උදෙසා ඵලදායී මොහොතක් නිර්මාණය කර ගැනීම යන ඒවා ඒ අතරය. මාස කිහිපයක සිට සිදුකරන ලද සැලසුමකට අනුව එදින රුහුණු සරසවි සිසුවෝ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ නියැලීමට තීරණය කර තිබිණි.
තරඟය ආරම්භ විය. මොහොතකින් තරඟ වදින කණ්ඩායම් දෙක ලකුණු එකතු කරන්නට විය. සවස් වන විට තරඟය අවසානය කරා ළඟා විය. තරඟයේ ලකුණු ප්‍රකාශයට පත් වීමත් සමග සිසුන් අතර මතුවූයේ දැඩි කසුකුසුවකි. ලකුණු සම්බන්ධව මතුවූ ගැටළුව උස් හඬින් කතා කෙරෙන ගැටුමක් බවට පරිවර්තනය වීමට ගතවූයේ තවත් සුළු මොහොතකි. මහත්වරුන්ගේ ක්‍රීඩාව මහත්වරුන් ලෙස සෙල්ලම් කර පිටියෙන් ඉවතට යනවා වෙනුවට ඔවුහු දෙපාර්ශ්වය තර්ක කරන්නටත්, එකිනෙකාට අභියෝග කරගන්නටත් පටන් ගත්හ. වචනවල ආවේගය එන්න එන්නම තීව්‍ර වෙද්දී රුහුණු සරසවි සෙල්ලම් පිටිය යුද පිටියක් බවට පත් විය.

පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් හය දෙනකු වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර කඹුරුපිටිය ආදපාන රජයේ රෝහල වෙත ඇතුළත් කෙරිණි. තවත් සිසුන් විසි එක් දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූහ. අත්අඩංගුවට ගත් සිසුන් පිරිස මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර සිසුන් මේ මස 28වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. වහා ක්‍රියාත්මක වුණු විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තත්ත්වය මැඩපැවැත්වීම සඳහා කෘෂි විද්‍යා පීඨයේ දෙවන සහ තෙවන වසරේ සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. ඒ අනුව එම වසරවල සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලින් ද ඉවත්ව යන ලෙස දැනුම් දී තිබිණි.
රුහුණු සරසවි ක්‍රිකට් තරඟය අවසන් වූයේ ඒ ආකාරයටය. ගැටුමක් ඇති වූ බව සැබෑවක් බවත්, දැන් ඒ සියල්ල විසඳී අවසන් බවත් පැවසිය නොහැක. පාසල්වල, විශ්වවිද්‍යාලවල හෝ වෙනත් සිසු ආයතනවල ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් ඒ ගැටුම්වල ගැඹුර කොතෙක්දැයි තීරණය වන්නේ ගැටුමේ ස්වභාවය අනුවය. පාසල්වල සිසුන් එකිනෙකා ගුටිබැට හුවමාරු සිදුකර ගන්නේ ඔවුන්ගේ නොමේරූකම නිසා යැයි ඇතැම් විට සිතිය හැකිය. එහෙත් හෙට දවසේ රටේ අනාගතය බාර ගැනීමට සැරසෙන උගතුන් පිරිසක් මෙසේ ම්ලේච්ඡ ආකාරයට පහර වැදීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.
සාමාන්‍යයෙන් අපේ විශ්වවිද්‍යාල සෑම වසරකට අවස්ථාවක්, දෙකක් හෝ කිහිපයක් පුවත් මවන ස්ථාන බවට ද පත්ව ඇත. එක්කෝ නවක වධය හේතුවෙන් සිදුවන අමානුෂික ක්‍රියා ය. එසේත් නැතිනම් පසුගිය දා රුහුණු සරසවි බිමේ සිදුවූවා මෙන් දුරදිග නොබලා සිදුකරන නොහික්මුණු ක්‍රියාවන් ය. මේ සියල්ල අවසන බැට කන්නේ ද සරසවි බිමේ ඉගෙනුම ලබන ඔවුන්ගේම සහෝදර සහෝදරියන් ය. යමක් සිදු වූවාට පසු කොතෙක් ඒ ගැන ලිව්වාට හෝ උපදෙස් ලබා දුන්නාට ඵලක් නැත. උගතුන් සහ බුද්ධිමත් පිරිසක් වශයෙන් සරසවියට පා තබන සියලු‍ම සිසුන් පළමුව තමන් කවුරුන්ද යන කාරණය අවධාරණය කරගත යුතුය. තමන් තුළ ඇති වටිනාකම අවබෝධ කරගත යුතුය. අනතුරුව තමාගෙන් හෙට දවසේ තම රටට හා සමාජයට අත්වන වටිනාකම කුමක්දැයි සිතා බැලිය යුතුය. තරහව කොතෙක් දුරට තමන්ට තමන්ව පවා අහිමි කරලනවාදැයි සිතීමට තරම් කුඩා හෝ නුවණක් උපදවා ගත යුතුය. දැන් හැදෙන දරුවන් කිසිදු හික්මීමක් නැති දරාගැනීමක් නැති පිරිසක් යැයි වැඩිහිටියන් පවසන්නේ නිකරුණේ නොවන බව මේ සිදුවීම් සමග පැහැදිලිය. දැන් පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් පන්සලේ හාමුදුරුවන්ගෙන් බණ අසනවා යැයි සිතා හෝ යළි යළිත් මේ කරුණු සිහිපත් කළ යුතුය.
අධ්‍යාපනය යනු කුමක්දැයි අවබෝධ කරගන්නවා සේම ක්‍රීඩාව යනු කුමක්දැයි කියා ද වැටහීමක් තිබීම බෙහෙවින් වටිනවා ඇත. දිනුම සහ පැරදුම යන දෙකම දරාගැනීමට පුරුදු කරවන වටිනාම දේ වන්නේ ද ක්‍රීඩාවයි. දරුවන් පාසල් වියේ පටන්ම ජය-පැරදුම එකසේ පිළිගැනීමටත්, ඒ සඳහා මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් ඇති පිරිසක් බවටත් පළමුව පත්විය යුතුය. නොඑසේනම් ඔවුන්ගේ දරාගත හැකි සීමාව ඉක්මවා ගිය පසු සිදුවන්නේ විනාශයක් පමණි.
සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේපවීමක් සිදු වූ තැන සහ පරාජය වීමක් සිදුවුණු තැන කඳුළු සැලීම, තරහව සහ වෛරය නිර්මාණය වීම සිදු වේ. නමුත් එය දුර්වල මිනිසුන් කෙරෙන් ඉස්මතු වන්නකි. ශක්ති සම්පන්න පුද්ගලයා කිසිදු විටක කදුළු සැලීමකින් හෝ වෛරයකින් පරාජය පිළිගන්නේ නැත.
ඉවසීම අඩු බව ලොකු-කුඩා, උගත්-නූගත්, දුප්පත්-පොහොසත් සෑම සමාජ මට්ටමකම අයකු තුළම මුල්බැසගත් ලක්ෂණයකි. එය එසේ වීමට බලපා ඇති ප්‍රධානතම හේතුවලින් එකක් වන්නේ අද ලෝකයේ පවතින තරඟකාරිත්වයයි. සෑම විටකම එක් අයකු සිතන්නේ අනෙකා පරයා යාමටය. අධ්‍යාපනයෙන්, ක්‍රීඩාවෙන්, රැකියාවෙන් මෙන්ම අනෙක් සියලු‍ දෑ අතින් අනෙකා අබිබවා යාමේ නොඉවසිලිමත්කම සමාජයේ සෑම තැනකම කැපී පෙනෙන්නකි. ඉවසීමට සීමාවක් ඇතැයි ඇතැමුන් කියති. එහෙත් බෞද්ධ ඉගැන්වීම්වලට අනුව නම් ඉවසීමට එවැනි සීමාවක් නොමැත. රුහුණේ සිසුන් ද ඉවසාගත නොහැකි තැනකදි පවා ඉවසීමට තීරණය කළේ නම් අද ඔවුන්ට මෙවන් ඉරණමක් අත්වන්නේ නැත.

ඉවසීම යනු සෑම දහමකම උගන්වා ඇති දෙයකි. ඒවා පාසල් වියටත් පෙර සිටම දරුවාට පුරුදු පුහුණු කිරීමට වැඩිහිටියෝ වගබලා ගත යුතුය. එසේ වන විට දරුවා නිවසේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ, රැකියා ස්ථානයේ පමණක් නොව ඕනෑම තැනක සමගිය ඇති කිරීමට කටයුතු කරන්නකු වනු ඇත. එසේ නොවුණහොත් සිදුවන්නේ අනේ අපේ අනාගත පරම්පරාවට වෙච්ච දෙයක් යැයි කියමින් හීල්ලීමටය.
වරක් අලගියවන්න මුකවැටිතුමාිසුභාෂිතය’ ග්‍රන්ථෙය්ිපින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු – ගුන නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු’ යනුවෙන් සඳහන් කර ඇත්තේ කට කහනවාට නොවේ යැයි යන්න අද තරුණ සමාජයට යළි යළිත් මතක් කර දෙන්නකි. ‍රට හැදීමට පෙර තමා නිවැරදි විය යුතුය. ඉවසීමක් නැති තැන, දරාගැනීමක් නැති තැන ජයග්‍රහණයක සේයාවකුදු නොමැති බව කුඩා කළ සිටම වටහා ගත යුත්තකි. ඉවසීමකින් තොරව ක්‍රියා කරන පිරිසක් කෙතරම් උගත් වුව ද යම් දිනක රටක පාලනයට පිවිසියහොත් සිදුවන්නේ නොහික්මුණු ක්‍රියාකාරකම් පමණි. ඇතැම් විට ඒකාධිපති පාලනයක් කරා මග පෑදෙන්නේ ද මෙවන් නොහික්මුණු ක්‍රියාකාරකම් හරහාය.
රුහුණු සරසවි බිමේ වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රිකට් තරඟය එදා කණ්ඩායම් අතර සුහදත්වයකින් යුතුව ආරම්භ වූවා සේම අවසන් වූවා නම් සහ ඔවුන් අතර ඉවසීම පිරිහී නොතිබුණා නම් අද එක්තරා සිසුන් කණ්ඩායමකට සිරගෙයි ළගින්නට සිදුවන්නේ නැත. තවත් පිරිසකට රෝහල් ඇඳක් මත වැතිර සිටින්නට වන්නේ ද නැත. ඔවුන්ගේ දෙමාපියන්ට සහ පවුලේ අයට හැඬූ කඳුලින් දවස ගෙවන්නට සිදුවන්නේ ද නැත. ඔවුන් එදා ඉවසුවා නම් ඔවුන්ට සිදුවුන අලාබහානි බොහොමයක් වලක්වාගත හැකිව තිබිණි.
විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන්නේ මෙවන් ඉවසීමක් නැති, දරාගැනීම යනු කුමක්දැයි නොහඳුනන උගතුන් පිරිසක් නම්, රටේ හෙට දවස ගැන කවර නම් කතාවක් ද?
විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සෑම සිසුවකුම හෝ සිසුවියකම එහි පැමිණෙන්නේ අනාගතය ගැන විශාල බලාපොරොත්තුවක් දල්වාගෙනය. ඒ සියලු‍ම දෙනා ධන කුවේරයන්ගේ දරුවන් නොවේ. ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ට අවශ්‍ය සියලු‍ වියදම් කෙසේ හෝ දරන්නේ හෙට දවසේ තම දරුවන් සමාජයේ හොඳ තැනක, රැකියාවේ ඉහළ පුටුවක වැජඹෙනු දැකීමටය. සති අන්තයේ හෝ නිවාඩුවකට ගෙදර දුවගෙන එන තම ආදරණීය දුව, පුතාට බත් මුලක් බැඳ දී රසකැවිලි මල්ලක් සාදා දී ආපසු සරසවිය වෙත පිටත් කර හරින්නේ පුතේ ගිහින් ජීවිතේ ජයගෙන ලෝකෙ දිනපල්ලා යන අහිංසක සිතිවිල්ල හදවතේ රඳවාගෙනය. ඊළඟට ඒ අහිංසක මුහුණු මග බලා සිටින්නේ ඊළඟ සති අන්තයේ හෝ ඊළඟ නිවාඩුවට යලිත් තම දුව, පුතා ගෙදර දුවගෙන එනතුරුය. එහෙත් ඒ අහිංසක දෙමාපියන්ට අසන්නට ලැබෙන්නේ සරසවිය බලා ගිය තම දරුවා දින කිහිපයකට බන්ධනාගාරගත කර ඇති බව නම්… එය ඔවුන් කෙසේ නම් දරාගනු ඇතිද?

ආදරණීය විශ්වවිද්‍යාල දරුවනි, ජීවත් වන හැටි’
ඉගෙනගනිල්ලා!

Share This