කටුනායක ගුවන් තොටුපොළට E ගේට්ටු

කටුනායක ගුවන් තොටුපොළට  E ගේට්ටු

(කටුනායක – ටී.කේ.ජී.කපිල)

ජපාන රජයේ අරමුදල් සහායෙන් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා ශ්‍රී ලංකාවේ පළමු ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය ඊයේ (28දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීම සිදු කෙරුණි.
මෙම පහසුකම යටතේ දකුණු ආසියාවේ බෝවන රෝග වලට ප්‍රතිචාර දැක්වීම සඳහා දේශසීමා පාලන හැකියාව ශක්තිමත් කිරීම සිදු කෙරේ.
දැනට මෙම පහසුකම ශ්‍රී ලාංකික ගුවන් මගීන් සඳහා පමණක් හිමි වන අතර එමගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට තත්පර 40 ක් වැනි කෙටි කාලයක් තුළ සිය නිශ්කාශන කටයුතු නිම කරගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිට වී යාමට අවස්ථාව උදා වී තිබේ.
මෙම අවස්ථාවට වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමාතා, ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් චමින්ද පතිරාජ සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටීන් පාර්කෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Share This