කටුනායකින් යන මැදපෙරදිග ගුවන් ගමන් සියල්ල අත්හිටුවයි

මැදපෙරදිග කළාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා ඇති හෙයින් , කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල අද දින අත්හිටුවා ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි. ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේ  අද (1) දින උදෑසන 06.15 වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් 18 ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් 25 ක් අවලංගු කර ඇති බවයි.
එසේම ඊයේ (28) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග බලා පිටත්ව ගිය ෆිට්ස් එයාර් සහ එයාර් ඇරේබියා ගුවන් යානා 02 ක්  ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
අවසාන ගමනාන්තය මැදපෙරදිග හෝ මැදපෙරදිග හරහා වෙනත් ගමනාන්තයන් වෙත ගමන් කිරීමට සැළසුම් කර ඇති ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර තම ගුවන් සේවා නියෝජිතයන් ඇමතීම , ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපි ( e.mail ) සහ කෙටි පණිවිඩ ( S.M.S.) වෙත සිය අවධානය යොමු කිරීම සිදු කරන ලෙසත් , නැතිනම් කටුනායක ගුවන් තොටුපොළ www.airport.lk වෙබ් අඩවිය වෙත පිවිස ගුවන් ගමන් විස්තර පිළිබඳ යාවත්කාළීන වන ලෙසත් කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා  ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාවෙන් බැහැර වී යාමට නොහැකි වී ඇති විදේශීය ගුවන් මගීන් සඳහා , මෙරට රැඳී සිටීමට තවත් දින 07 ක වීසා සහන කාලයක් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත් ඕස්ට්‍රේලියාව , චීනය , මැලේසියාව , ඉන්දුනීසියාව , ඉන්දියාව , තායිලන්තය , ප්‍රංශය , එංගලන්තය සහ ජර්මනිය බලා පිටත්ව යන සහ එම රටවල සිට පැමිණෙන ගුවන් යානා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.
Share This