කටුනායකට පැමිණි ගුවන් යානා තුනක් මත්තලට හරවයි

(කටුනායක – ටී.කේ.ජී. කපිල)
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (19දා) අලුයම පැවැති අධික මීදුම් තත්වය නිසා, ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.
මේ අතරින් අද අලුයම 5.05 ට චීනයේ ග්වැන්ෂෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
එසේම අලුයම 05.30ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබුණි.
එමෙන්ම සෞදි අරාබියේ රියාද් නුවර සිට උදෑසන 06.15ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 266 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.
පසුව ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය 19 දින උදෑසන 08.40 ටත්, චීනයේ ග්වැන්ෂෝ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය උදෑසන 09.40 ටත්, සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය උදෑසන 09.51 ටත් මත්තල ගුවන් තොටුපොළ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
