උපන්දිනය සමරන්න දරුවන් පැවිදි කරන කිතලගම හාමුදුරුවෝ

(වාද්දුව – ජේ.ජේ. හෙට්ටිආරච්චි)
තම උපන්දිනය යනු කෙනකුට ඉතාම වැදගත් දිනයකි. එම වැදගත් දිනය විවිධ අයුරින් සමරන්නට බොහො දෙනා කටයුතු කරති.
වාද්දුව දෙල්දූව ගණේවත්ත පුරාණ විහාරාධිකාරි , කළුතර උතුර ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, සිරි සුමන පිරිවෙන්පති, ශාස්ත්‍රපති කිතලගම නන්දසාර ස්වාමීන් වහන්සේ ද තම ජන්ම දිනය ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන්ම යොදවන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක ලෙස ප්‍රචලිතය.
උන්වහන්සේ ගේ ජන්ම දිනය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන පිංකම් අතරට කුලදරුවන් සසුන්ගත කිරීමට ප්‍රධාන තැනක් හිමි වන්නේ එම නිසාවෙනි. නන්දසාර හිමියන්ගේ හතලිස් දෙවැනි ජන්ම දිනය සහ ප්‍රවෘජ්‍යා භූමියට පත්ව තිස් හතර වසරක් පිරීම නිමිත්තෙන් මෙවරත් කුලදරුවන් සසුන්ගත කිරීමේ මහ පිංකමට සියලු කටයුතු සූදානම්ය.
ගොඩනැගිලි ඉදිකිරීම් වැනි භෞතික සම්පත් තනනු වෙනුවට සසුනේ පැවැත්මට භික්ෂූන් වහන්සේලා සියක් නමක් දායාද කිරීමේ ඒකායන අරමුණැතිව යන මේ ගමන සැබවින්ම සංසාර පුරුද්දක් වැනිය.
එසේ පැවිදි වූ ශිෂ්‍ය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සියයකට ආසන්න පිරිසක් මේ වන විට ශාසන චර්යාවෙහි නිරත ව සිටින්නේ කළුතර දිසාවට පමණක් නොව මුළු දිවයිනෙහිම ශාසනෝන්නතියට උර දෙමිනි.
මේ උතුම් කර්තව්‍යය ගැන අදහස් දැක්වූ කිතලගම නන්දසාර හිමියෝ
“අපේ ගේ ළඟමයි පන්සල තියෙන්නේ.එම නිසා හාමුදුරුවෝ දකිනවා. පුංචි කාලේ ඉඳලම මහණ වෙන්න ඕන කියන සංකල්පය මගේ ඔලුවේ තිබුණා.ඒ කාරණා එක්ක මම අවුරුදු හතෙන් පැවිදි වුණා. දැන් තිබෙන්නේ මහණ කරවන්නට ඇති ආශාවයි.
ශාසනික හා සමාජයීය වශයෙන් විශාල සේවාවක් කල අපවත් වී වදාළ දිඹුලාගල නායක හාමුදුරුවෝ මගේ ලඟම ඥාතියෙක්. ගුරුදේවෝත්තම වාද්දුව දෙල්දුව ගණේවත්ත පුරාණ විහාරය ඇතුළු චාතුර් මහා විහාරාධිපති, සිරි සුමන මුලික පිරිවෙන් කෘත්‍යාධිකාරී අධ්යක්ෂ, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අධිකරණ සංඝනායක දෙල්දුවේ සුමන නාහිමියන්ගේ සහ මාගේ ශිෂ්‍ය ස්වාමින්ද්‍රයන් වහන්සේලා සියක් නමකට ආසන්න පිරිසක් දැනට දෙල්දුව විහාරස්ථානයේ වැඩ සිටිනවා.
මගේ උපන්දිනය ට විවිධ පින්කම් කරන අතරේ කුල දරුවන් සසුන්ගත කිරීමට ප්රමුඛස්ථානයක් ලබා දෙනවා. ශාසනය වෙනුවෙන් සියයකට අධික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දායාද කිරීම මගේ එකම අරමුණයි. මෙම කටයුතුවලදී දෙල්දූවේ සුමන නායක හාමුදුරුවන්ගෙන් ලැබෙන අවවාද අනුශාසනා විශේෂයෙන්ම සිහිපත් කරනවා” යැයි පැවසූහ.