ඊශ්‍රායලයේ අතරමංව සිටි තරුණයා ගෙන්වා ගනී

ඊශ්‍රායලයේ අතරමංව සිටි තරුණයා ගෙන්වා ගනී

ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ගොස් අතරමං වී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වූ තරුණයා 20දා උදෑසන දිවයිනට පැමිණියේය.
මොනරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මෙම වසරේ අගෝස්තු මස 9 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇති අතර, එදින සිටම නිසි පරිදි සේවා ස්ථානයේ නොරැඳී විෂමාචාරවල යෙදෙමින් අවට සැරිසරමින් සිට තිබේ. මොහු පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් අගෝස්තු මස 30 දින පැමිණිලි කර ඇති අතර, ඒ අනුව සිදු කළ සොයාබැලීමේදී මොහු ජෙරුසලම ප්‍රදේශයේ රැදී සිටියදී හමුවී ඇත. ඒ වන විට ඔහුගේ පැවති දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් මස 5 වන දින ජෙරුසලම රෝහලට ඇතුළත් කළද එදින රාත්‍රියේ ඔහු එම රෝහලින්ද පැන ගොස් තිබේ.
ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ නිළධාරීන් විසින් අදාළ තරුණයා මෙම කෙටි කාල සිමාව තුළදී කිහිපවරක් සිය භාරයේ රඳවා ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වී ඇත. කෙසේ හෝ සැප්තැම්බර් 16 වන දින මොහු පිළිබඳව කරුණු අනාවරණය වීමෙන් අනතුරුව තානාපති කාර්යාලයේ රඳවා තබාගෙන ඇත. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හා කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් අවශ්‍ය කඩිනම් පියවර ගැනීමෙන් අනතුරුව මෙම තරුණයා අද දින දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවිය. ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශයේ නිළධාරිනියකද අදාළ තරුණයා සමග මෙරටට පැමිණීමට පියවර ගන්නා ලදී.
දිවයිනට ළඟා වීමෙන් අනතුරුව ඔහු ඥාතීන් වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ.

Share This