ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා අද පාකිස්තානයේ දී
මැදපෙරදිග උණුසුම්ව පවතින යුද තත්ත්වය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා අද (11) පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේදී ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව සඳහා අමෙරිකාව නියෝජනය කරමින් එරට උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක් ද, ඉරානය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චිගේ නායකත්වයෙන් යුත් පිරිසක් ද මේ වනවිට පාකිස්තානයට පැමිණ තිබේ.
එහෙත් සාකච්ඡා ආරම්භයට පෙර, ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි. ඒ අතර, විදේශ බැංකුවල තැන්පත් කර ඇති ඉරාන වත්කම් වහාම නිදහස් කිරීම සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර නවතා දැමීම ප්‍රධාන වේ.
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් පෙබරවාරි 28 දින ඒකාබද්ධ ප්‍රහාරයක් ආරම්භ කළ අතර, එතැන් පටන් දින 40ක් පුරා තද යුද ගැටුම් පැවතිණි. එම තත්ත්වය මදක් සන්සුන් කරමින්, පාකිස්තානයේ මැදිහත්වීමෙන් අප්‍රේල් 8 සිට සති දෙකක සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතී.
