ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

රාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු නෞකාවකට ගමන් කිරීමට අවසර නොදෙන බව ප්‍රකාශ කර තිබේ.  Tasnim News Agency වාර්තා කරන්නේ, ඉරාන සන්නද්ධ හමුදා විසින් එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ඉලක්ක කරමින් සිදුකරන ප්‍රතිප්‍රහාර මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බවයි. එම වාර්තාවන්ට අනුව, ඉරාන ප්‍රහාරවලින් මේ වනවිට ඇමෙරිකානු කඳවුරු 14කට හානි සිදුව ඇති බවද සඳහන් වේ.

ඉරානයට එරෙහිව අකොව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, මැදපෙරදිග කලාපය දැඩි ආරක්ෂක ආතතියකට ලක්ව ඇත. මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග වෙත ගමන් කරන ගුවන් සමාගම් රැසක් සිය ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා ඇති අතර, රටවල් කිහිපයක් තම ගුවන් කලාප වසා දැමීමටද පියවර ගෙන ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය යනු පර්සියානු ගල්ෆ් කලාපය හා ඕමාන් බොක්ක සම්බන්ධ කරන ලෝකයේ අතිශය වැදගත් මුහුදු මාර්ගයකි. ලෝකයේ “බලශක්ති මධ්‍යස්ථානය” ලෙස හඳුන්වනු ලබන මෙම සමුද්‍ර සන්ධියේ පටුම ස්ථානය සැතපුම් 21ක් පමණ වන අතර, නෞකා ගමනාගමනය සඳහා භාවිතා කළ හැකි මාර්ගය සැතපුම් 2ක් පමණ පටු වේ. සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් රාජ්‍යය වැනි රටවල් අපනයනය කරන බොරතෙල් ලෝක වෙළඳපොළට රැගෙන යාම සඳහා භාවිතා කරන ප්‍රධානම සහ සම්මත මුහුදු මාර්ගය ද මෙයයි.

මෙම සන්ධිය වසා දැමීම, ලෝක බලශක්ති සැපයුමට සෘජු බලපෑම් ඇති කරමින් තෙල් මිල ඉහළ යාමක් සහ ගෝලීය ආර්ථික අස්ථාවරත්වයක් ඇති විය හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Share This