ඉරානය එක්ක ගිවිසුම් නෑ – ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
ඉරානය සමග කිසිදු ගිවිසුමකට එළැඹීමට තමන් සූදානම් නැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
අමෙරිකානු මාධ්‍යයකට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ඉරානයට ගිවිසුමක් අවශ්‍ය වුවද, ඔවුන් ඉදිරිපත් කර ඇති කොන්දේසි තවමත් ප්‍රමාණවත් නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කළ බවයි.
එම කොන්දේසි මොනවාදැයි හෙළි කිරීමට ඔහු අකමැති වූ අතර, ඕනෑම ගිවිසුමක කොටසක් ලෙස ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් අත්හැරීමට කැපවිය යුතු බවද අවධාරණය කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රටවල් කිහිපයක් සහයෝගය දක්වන බව ට්‍රම්ප් පැවසුවද, එම රටවල් මොනවාද යන්න නම් කිරීමෙන් වැළකී සිටියේය.
තවද, ඉරාන තෙල් අපනයනයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත එක්සත් ජනපදය විසින් සම්පූර්ණයෙන් විනාශ කර ඇති බවත්, අවශ්‍ය නම් නැවත නැවතත් එවැනි ප්‍රහාර එල්ල කළ හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.
