ඉදිරි දින කිහිපය තීරණාත්මකයි! රහසිගත අවියකින් සතුරන් මවිත කරනවා
ඉදිරි දින කිහිපය ඇතුළත නව රහසිගත අවියක් භාවිත කරමින් සතුරාගේ සියලු යුධ මෙහෙයුම් අඩපණ කරන බවට ඉරාන මේජර් ජෙනරාල් අලි අබ්දුල්ලාහි (Ali Abdollahi) දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඉරානයේ ඛාතම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ නියෝජ්‍ය අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කරන ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ මැදපෙරදිග කලාපය දැඩි යුධමය උණුසුමක පවතින පසුබිමකය.
ඉරාන විද්‍යාඥයන් විසින් නිපදවන ලද මෙම නවීන අවිය මගින් ප්‍රතිවාදීන්ගේ සියලු යුධමය ගණනය කිරීම් සහ ක්ෂේත්‍ර මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ වනු ඇති බව ඔහු අවධාරණය කළේය. “මෙම රහස් අවියේ භාවිතය ඉතා ඉක්මනින් ආරම්භ වනු ඇති අතර, එය සතුරාගේ ක්‍රියාකාරකම්වල අවසානය සනිටුහන් කරනු ඇත,” යැයි ජෙනරාල්වරයා මාධ්‍ය වෙත පවසා තිබේ.
මෙම තර්ජනය එල්ල වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබා දී ඇති පැය 48ක අවසාන නිවේදනයත් සමගය. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට උත්සාහ කළහොත් එරට බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් පරිපාලනය අනතුරු ඇඟවා තිබුණි. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා ඇත්තේ තම හමුදා මූලධර්මය මේ වන විට “ආරක්ෂක” මට්ටමේ සිට “ප්‍රහාරාත්මක” මට්ටම දක්වා (Offensive Doctrine) පරිවර්තනය කර ඇති බවයි.
ජාත්‍යන්තර ආරක්ෂක විචාරකයින් පෙන්වා දෙන්නේ ජෙනරාල් අබ්දුල්ලාහිගේ මෙම ප්‍රකාශය ඇමරිකානු තර්ජන හමුවේ එල්ල කළ මනෝවිද්‍යාත්මක ප්‍රහාරයක් (Psychological Warfare) විය හැකි බවයි. කෙසේ වෙතත්, මෙම “රහස් අවිය” සැබෑ තාක්ෂණික දියුණුවක් ද යන්න පිළිබඳව ලොව පුරා බුද්ධි අංශවල දැඩි අවධානය යොමුව ඇත.
