ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක අධ්‍යාපනය සහ කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරයි
26 වැනි ASEAN කලාපීය ආරක්ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා විසින් සභාව අමතමින් වත්මන් ගෝලීය විෂමතාවයන්ට අනුගත වීම සහ කලාපීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ආරක්ෂක අධ්‍යාපනයේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳ අවධාරණය කර තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව කොළඹදී පැවැත්වෙන අතර නියෝජ්‍ය අමාත්‍යවරයා එහි සමාරම්භක දිනයේ ප්‍රධාන දේශනය පවත්වමින්, කලාපය තුළ විකාශනය වන ආරක්ෂක අභියෝග සහ එම අභියෝගයන්ට මුහුණ දීම සඳහා උපාය මාර්ගික නවෝත්පාදනයක අවශ්‍යතාවය පිළිබඳ කලාපීය ආරක්ෂක ක්ෂේත්රය හා සබැඳි ප්‍රමුඛතා කිහිපයක් ගෙනහැර දක්වමින් අදහස් දක්වා තිබුණා.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ද මෙම අවස්ථාවට සහභාගීව සිටියා.
නූතන තාක්ෂණය, භූ දේශපාලනික විචල්‍යතාව සහ ආරක්ෂක පසුබිම ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ නැගී එන අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය පරිදි ආරක්ෂක අධ්‍යයන ක්‍රියාවලිය පෙළගැස්වීමේ වැදගත්කමයි නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබුණේ. තවද, කලාපීය වශයෙන් පොදු ආරක්ෂක ගැටළු විසඳීමේදී කලාපීය රටවල අන්තර් සහයෝගීතාවයේ වැදගත්කම ද ඔහු ඉස්මතු කර තිබුණා.
මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) විසින් සිය දේශනය අතරතුර තවත් වැදගත් අංගයක් වෙත අවධානය යොමු කරමින්, ආරක්ෂක අංශවල සාමාජිකයන් විසින් නවෝත්පාදනයන් පෝෂණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති අතර විශේෂයෙන් එම නවෝත්පාදන හමුදාමය යෙදවුම් සඳහා පමණක් නොව සිවිල් ජන සමාජයේ ද භාවිතයට ගත හැකි තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුකුලව නිර්මාණය කිරීමේ වැදගත්කම ඉස්මතු කිරීම විශේෂ ය.
26 වැනි ASEAN කලාපීය ආරක්ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ සමුළුව, “Defence Education in an Era of Transition.” යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකාවේ කොළඹ දී නිල වශයෙන් ආරම්භ වූ අතර, ජනවාරි 22 සිට 25 දක්වා පැවැත්වෙන මෙම සමුළුවට කලාපයේ ප්රමුඛ ආරක්ෂක අධ්‍යයන ආයතන රැසක නියෝජිතයන් හා විෂයානුබද්ධ විද්වතුන් විසින් එකී තේමාවට අදාලව අදහස් හුවමාරු කරගනිමින් සාකච්ඡාවල නිරත වනු ඇති.
මෙවර පැවැත්වෙන කලාපීය ආරක්ෂක විශ්වවිද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ සමුළුව සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ කාම්බෝජ රාජධානියේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් සම සත්කාරකත්වය දරනු ලබන අතර, ඒ ඔස්සේ කලාපයේ ප්රමුඛ ආරක්ෂක ආයතන, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර සමීප සහයෝගීතාව වර්ධනය කරමින් විකාශනය වන ආරක්ෂක භූ දර්ශනයට අනුගත වන පරිදි ආරක්ෂක අධ්‍යාපනය සහ නවෝත්පාදනයන් පෙළගැසී ඇති බව සහතික කිරීමේ සන්ධිස්ථානයක් ලෙස දැකිය හැකිය.
විදෙස් රටවල් නියෝජනය කරමින් මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය, ලාඕසය, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, කාම්බෝජය, නැගෙනහිර ටිමෝරය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, නවසීලන්තය, රුසියාව, බංග්ලාදේශය සහ පාකිස්ථානය යන රටවල මෙන්ම, ශ්‍රී ලංකාවේ ද නියෝජිතයින් රැසක් මෙම සමුළුවට සහභාගී වේ. එමෙන්ම, මෙම සමුළුවේ ගෝලීය වැදගත්කම තවදුරටත් තහවුරු කරමින් විදෙස් රටවල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, විද්වතුන්, ශාස්ත්‍රීය ආයතන ප්‍රධානින්, ආරක්ෂක විශේෂඥයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ද විශාල පිරිසක් සහභාගී වේ.