ආණ්ඩුවට එරෙහිව ජන අරගලය පාරට

(නිමල් දයාරත්න)
හාල්ටිකට, පරිප්පු ටිකට පොඩි එකාගේ පොතට, පැන්සලට බොන බෙහෙත් පෙත්තට පවා බදු ගෙවන්න වෙද්දී, ඉන්දියානු සමාගම් ඇවිල්ලා ජනතාවගේ ඉඩම් ටික කොල්ල කද්දී, රෝහල්වල ඖෂධ නැතිවෙලා පෝලිමේ ඉන්න වෙද්දි ජනතාවට සටන් කරනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ. මේක කලින්ම දන්න නිසා තමයි ආණ්ඩුව ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්‍ෂා කිරීමේ පනත කියල අලුත් මර්දන පනතක් ගේන්න සූදානම් වෙන්නේ යැයි ජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක සභික වසන්ත මුදලිගේ මහතා පවසයි.
මේ පනත ගෙන එන්නේ ආණ්ඩුව විවේචන කරන අයව සිරකරන්න. ආණ්ඩුව යන පාර වැරදියි. ජනතාව පීඩාවට පත් කරන ෂඵත් කොන්දේසිවලින් වහාම ඉවත් වෙන්න. ඉන්දියාව එක්ක අත්සන් කරපු හොර ගිවිසුම්වලින් වහාම ඉවත් වෙන්න කියලා ආණ්ඩුවට බල කරමින් සටන් කරන අයව මර්දනය කරන්න පුළුවන් විදිහට මේ පනත හදලා තිබෙන බව ද ඒ මහතා අවධාරණය කරයි.
මර්දනකාරී අණපනත් ගෙන එමින් ආණ්ඩුව විසින් ගෙන යනු ලබන ෂඵත් ඉන්දියානු ගැති ආර්ථික ප්‍රතිපත්තිය නිසා මෙරට ජනතාවට අත්විඳින්නට සිදුවන පීඩාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ජන අරගල ව්‍යාපාරය ඊයේ 1 දා උදෑසන කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදා හැරීමක් සිදු කෙරිණි. එහිදී ඊට එක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක සභික වසන්ත මුදලිගේ මහතා එසේ පැවැසීය.
මේ ආණ්ඩුවත් පරණ රනිල් රාජපක්‍ෂලාගේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තිමයි ගෙන යන්නේ. අනන්න ඒ කොල්ලකාරී ප්‍රතිපත්තියට එරෙහිව විකල්පයක් ඇත්තේ නෑ. අන්න ඒ දැනුවත් කිරීමත් අරගෙන තමයි ජන අරගල ව්‍යාපාරය ජනතාව ඉදිරියට එන්න තීරණය කළේ. ඉන්දියානු සමාගම් ඇවිත් ගොවි ඉඩම් කොල්ලකනවා. යාත්‍රා ඇවිත් අපේ ධීවර සම්පත කොල්ලකනවා. මේවා වෙන දිහා නිහඬව බලා ඉන්න අපිට බෑ. ජනතාව අලුත් ආණ්ඩුවක් ගෙනාවේ මෙහෙම තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. ඒ නිසා අපි හිතනවා එළැඹෙන 2026 අවුරුද්දත් ජනතාවට සුබ දායක අවුරුද්දක් නොවන බව.
ත්‍රිමලය වර්ග සැතපුම් 720ක්, මුත්තු නගර් අක්කර 800, කුච්චිවේලි අක්කර 1000 විකුණන්න නියමිතයි. මේ වගා බිම්වල හිටපු අහිංසක ජනතාව එළවලා තමයි ඉඩම් ටික ඉන්දියාවට විකුණන්න යන්නේ. මේ ආණ්ඩුව නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය නිසා මුළු රටම දැවැන්ත ණය උගුලක හිරවෙලා. ඒ ණය ගෙවන්න වෙන්නේ මේ රටේ වැඩකරන පන්තියට බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
