අවුරුදු නැකැත් සීට්ටු අවුල? විසදීමට රජය විශේෂ සාකච්ඡාවක

සිංහල–දෙමළ අලුත් අවුරුදු නැකත් ඒකාබද්ධව සම්පාදනය කර රටට එක් අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් ලබාදීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කැඳවීමට තීරණය කර තිබේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ එම සාකච්ඡාව ලබන සඳුදා (16) පැවැත්වීමට නියමිත බවයි.

1991 වර්ෂයේ සිට සිංහල–දෙමළ අලුත් අවුරුදු නැකත් රාජ්‍ය අනුග්‍රහය යටතේ සම්පාදනය කර ඇති අතර 2024 වසරේ සම්පාදිත නැකත් සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන් අතර මෙන්ම බාහිර පාර්ශ්ව අතර ඇතිවූ මතභේද හේතුවෙන් එවකට පැවති රාජ්‍ය නැකත් කමිටුව විසුරුවා හැරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව 2025 වසර සඳහා අලුත් අවුරුදු නැකත් සම්පාදනය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පවතින පොහොය කමිටුවේ සාමාජිකයන් වන සාම්ප්‍රදායික පංචාංග ලිත් කතෘවරුන් වෙත භාර දී තිබේ.

කෙසේ වෙතත් 2026 වසර සඳහා අලුත් අවුරුදු නැකත් සම්පාදනය කිරීමට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් පාර්ශව අතර එකඟතාවයක් ඇති කර ගැනීමට මේ වන තෙක් නොහැකි වී ඇති බවද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් පොදු එකඟතාවයකට පැමිණීමේ අරමුණින් අමාත්‍යංශය එම කණ්ඩායම් සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වා තිබේ.

රටේ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරමින් සිංහල–දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියටත් අවශ්‍ය පියවර ගන්නා බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Share This