අලි රොෂාන් වසර 15ක් ඇතුළට

අලි රොෂාන් වසර 15ක් ඇතුළට

(අකිලා නදීෂානි බණ්ඩාර)
සමාධි නමැති අලියකු බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියම කරයි.
එහිදී 27 වැනි චෝදනාවට වසර පහක සිරදඬුවම්ද 28 වැනි චෝදනාවට වසර 15ක සිරදඬුවම්ද නියම කළ අතර එකී සිරදඬුවම් කාලය එක වර වසර 15කින් ගෙවී යන ලෙස නියම කරන බවද විනිසුරු මඬුල්ල සඳහන් කළේය. ඊට අමතරව විත්තිකරුට 27 වැනි චෝදනාවට ලක්ෂ 2ක දඩයක්ද එම දඩය නොගෙවන්නේ නම් මාස 03ක ලිහිල් සිරදඬුවම්ද 28 වැනි චෝදනාවට රුපියල් ලක්ෂ 204ක දඩයක්ද නියම කළ අතර එකී දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම්ද නියම කළේය. ඊට අමතරව අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියම කළ අතර එම අලියා වහාම වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා භාරයට පත්කරන ලෙසද නියෝග ක⁣ළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මංජුල තිලකරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු ආර්.එස්.එස්. සපුවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තුන් දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඬුල්ල’නියම’කළේය.

Share This