අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි.
2026 මාර්තු 26 වන දින ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.
මැලේසියාව සඳහා නම් කරන ලද මහ කොමසාරිස් දර්ශන එම්. පෙරේරා මහතා, ඔස්ට්‍රියාව සහ PRUN සඳහා නම් කරන ලද තානාපති ඩයනි මෙන්ඩිස් මහත්මිය, ඉතියෝපියාව සහ අප්‍රිකානු සංගමය සඳහා නම් කරන ලද තානාපති එන්.අයි.ඩී. පරණවිතාන මහත්මිය, ඉරානය සඳහා නම් කරන ලද තානාපති මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි, ඊශ්‍රායලය සඳහා නම් කරන ලද තානාපති සමන් කුමාර චන්ද්‍රසිරි මහතා සහ පලස්තීනය සඳහා නම් කරන ලද නියෝජිත එම්. ෆාරුක් එම්. ෆවුසර් මහතා මෙම දූත පිරිසට ඇතුළත් විය.
දූත මණ්ඩල ප්‍රධානීන්ට සිය සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අභිවෘද්ධිය සඳහා ඔවුන්ගේ කාර්යභාරය අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේදී ඔවුන්ගේ ඉදිරි වගකීම්වල වැදගත්කම සඳහන් කළාය.
නම් කරන ලද සත්කාරක රටවල් සහ බහුපාර්ශ්වික සබඳතා හමුවේ ස්ථාවර, වෘත්තීමය සහ උපායමාර්ගික මැදිහත්වීමක් තුළින් ජාත්‍යන්තර වේදිකාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක සහ විශ්වසනීය ප්‍රතිරූපයක් ගොඩ නැගීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී තවදුරටත් අවධාරණය කළා ය.
තිරසාරත්වය, නවෝත්පාදනය සහ දිගුකාලීන සංවර්ධන ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා ආයෝජන අවස්ථා හඳුනාගෙන ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බව අග්‍රාමාත්‍යතුමිය නව දූත මණ්ඩල ප්‍රධානීන් දිරිමත් කරමින් සඳහන් කළා ය.
මෙම හමුවේදී නව වෙළඳපොළ අවස්ථා ගවේෂණය කිරීම සහ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය සහ විවිධාංගීකරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ නම් කරන ලද දූත මණ්ඩල ප්‍රධානීන් සහභාගී වූහ.
