අනුරාධපුර රෝහල 04 වැනි ජාතික රෝහල බවට පත්කරනවා
මෙරට තුන් වැනි විශාලතම තෘතීයික සත්කාර රෝහල වන අනුරාධපුර රෝහල 04 වැනි ජාතික රෝහල බවට පත්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසයි. රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු උදෙසා රුපියල් මිලියන 20,000ක පමණ ආයෝජනයක් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
කොළඹ, මහනුවර සහ ගාල්ල කරාපිටිය රෝහල් ජාතික රෝහල් ලෙස දැනට ක්‍රියාත්මක වේ. අනුරාධපුර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පත්කිරීම සම්බන්ධයෙන් වූ කරුණු අනාවරණය වූයේ, පෙරේදා (10) පැවති රෝහල් කළමනාකරණ රැස්වීමේදීය. 2026 කළමනාකරණ රැස්වීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඉදිරි වසර කිහිපය තුළ ලොකුම වැඩබිම ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහල පත්වන බවත්, රෝහලේ නාම පුවරුව වෙනස් කරන්නේ රෝහලේ ගොඩනැඟිලි සැලසුම් සහගත වැඩපිළිවෙළකට ගොඩනැඟීමෙන් අනතුරුව, රෝහලට අවශ්‍ය සියලු සම්පත් ලබාදීමෙන් අනතුරුව බව ද මෙහිදී සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
