‘අඩි 7යි අඟල් 2ක් උසයි.. මගේ උස වැඩි නිසා මෙහෙ සපත්තු සෙරෙප්පු පාවිච්චි කරන්න බැහැ…’

මුලතිව්වල ගුණසිංහම් ශ්‍රී ලංකාවේ උසම පුද්ගලයා ද?

‘අඩි 7යි අඟල් 2ක් උසයි.. මගේ උස වැඩි නිසා මෙහෙ සපත්තු සෙරෙප්පු පාවිච්චි කරන්න බැහැ…’

මුලතිව්වල ජීවත්වන ‘ගුණසිංහම් කසේන්ද්‍රන්’ ශ්‍රී ලංකාවේ උසම පුද්ගලයා ද?

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පුදුකුඩිඉරිප්පු – කයිවේලි ගම්මානයේ ජීවත්වෙන ‘ගුණසිංහම් කසේන්ද්‍රන්ගේ’ උස ‘අඩි 07යි අඟල් 02ක්’.

‘ශ්‍රී ලංකාවේ උසම පුද්ගලයා තමන් බවට විශ්වාස කරන බව’ ඔහු බීබීසී සිංහල සේවය සමඟ පවසා තිබුණා.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන ඔහු මේ වනවිට ත්‍රීරෝද රථ රියැදුරෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

උස හේතුවෙන් දෛනික කටයුතු සිදුකිරීමේදී පවා ගැටළු රැසකට මුහුණ පාන්නට සිදුවෙන බවටයි ගුණසිංහම් ප්‍රකාශ කර ඇත්තේ.

උස සම්බන්ධයෙන් තමා මුහුණ දෙන තත්ත්වයන් සහ සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර ගැන ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණා.

“මගේ උස වැඩි නිසා මෙහෙ සපත්තු සෙරෙප්පු පාවිච්චි කරන්න බැහැ… පිටරට ඒවා තමයි ගෙන්න ගන්න වෙන්නේ…”

ත්‍රිරෝද රථ රියදුරකු වන ඔහු එම කටයුත්ත ද සිදුකරන්නේ ඉතා අපහසුවෙන් බවයි කියා සිටියේ.

බස් රථවල ගමන් කිරීමේදී ද උස නිසා බලවත් අපහසුතාවන්ට මුහුණ දෙන බවත්, බස් රථයක හිටගෙන සහ ආසනයක ඉඳගෙන යාම ද අපහසු බව ‘ගුණසිංහම් කසේන්ද්‍රන්’ සඳහන් කළා.

තමා ජීවත්වන ප්‍රදේශවලදී විශේෂ පිළිගැනීමක් නොලැබුණ ද, සිංහල ප්‍රදේශවලදී තමාට හොඳ පිළිගැනීමක් ලැබෙන බව සතුටින් ප්‍රකාශ කළ කසේන්ද්‍රන් කියා සිටියේ සමහරු තමන් සමඟ ඡායාරූපවලට පෙනී සිටීමට කැමැත්තක් දක්වන බවයි.

‘ගුණසිංහම් කසේන්ද්‍රන්’ දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්ද වනවා.

Share This