හෙට සිට පළාත් කිහිපයකට තද වැසි

හෙට සිට පළාත් කිහිපයකට තද වැසි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි බලාපොරොත්තු වනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දී තිබෙනවා.

Share This