මැණික් ව්‍යාපාරිකයාගේ මැණික් මල්ල සොරාගෙන

මැණික් ව්‍යාපාරිකයාගේ මැණික් මල්ල සොරාගෙන

මැණික් ව්‍යාපාරිකයෙකු සතු රුපියල් ලක්ෂ 13 ක් වටිනා ගමන් මල්ලක් කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගෘහ සේවිකාවක් අද (03) දින කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු දෙහිවල, කලුබෝවිල ප්‍රදේශයේ පදිංචි, මොහොමඩ් ජාසින් නවාෂ් නැමැති 34 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙක්. ඔහු නිතර ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනය සදහා සහභාගී වන පුද්ගලයෙක් වනවා.

ඔහුගේ ගමන් මල්ල පමණක් රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා එකක් වන අතර, එහි මෙම ව්‍යාපාරිකයාට අයත් මැණික් පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ලේඛන, හිස් මැණික් ඇසුරුම් පෙට්ටි, ව්‍යාපාරිකයාගේ ඇදුම් පැළදුම්, සුවද විලවුන් ඇතුළු තවත් වටිනා භාණ්ඩ රාශියක් තිබී ඇති බව සඳහන්.

ඔහු ඉකුත් 28 වැනිදා අලුයම 03.00ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු රැගෙන ආ ගමන් මලු දෙකෙන් එකක් ගමන් මලු පථයේ දී අතුරුදන් වී ඇති බව සඳහන්.

ඔහු මේ පිළිබඳ කටාර් ගුවන් සේවා නිලධාරීන් වෙත පැමිණිළි කර තිබූ අතර, ඔවුන් මෙම ගමන් මල්ල පිළිබඳ තොරතුරු මාසයක කාලයකින් මෙම ව්‍යාපාරිකයාට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා .

එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ මෙම ව්‍යාපාරිකයා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ සිය පැමිණිල්ල ඉදිරිපත් කළ අතර, වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර මෙම ගමන් මල්ල සොරා ගෙන ගිය කාන්තාව හදුනා ගැනීමට සමත් වී තිබුණා.

ඇය හෙම්මාතගම, පෙතිගම්මන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ගෘහ සේවිකාවක්.

මෙම කාන්තාවද අදාල ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඇය සොයා ගිය ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන්, ඇයගේ නිවසෙහි තිබී රුපියල් එක් ලක්ෂ විසි පන් දහසක් වටිනා භාණ්ඩ තොගයක් අත් අඩංගුවට ගැනීමට සමත් වූවා.

මෙහිදී අත් අඩංගුවට ගත් ගෘහ සේවිකාවකගෙන් මේ පිළිබඳ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී , තමන් විසින් මෙම ගමන් මල්ල ගිනි තබා විනාශ කළ බව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සිදු කරයි.

අත්අඩංගුවට ගත් ගෘහ සේවිකාව සමන්ග බඩු බාහිරාදිය අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

Share This