ජාතික ජන බලවේගය ආණ්ඩුව මුහුණ දෙන විශාලමත අභියෝගය කුමක් ද.?: පාඨලිගෙන් පැහැදිලි කිරීමක්

ජාතික ජන බලවේගය ආණ්ඩුව මුහුණ දෙන විශාලමත අභියෝගය කුමක් ද.?: පාඨලිගෙන් පැහැදිලි කිරීමක්

ජාතික ජන බලවේගය ආණ්ඩුව මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ ලංකාවේ පවතින අධික ණය බර බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ ක‌ළේ, “මහජනයා පැතූ ‘වෙනස’ නව රජයට උදා කළ හැකි වේද?” – නව රජයෙන් මහජනයා බලාපොරොත්තු වන ආර්ථික, සමාජීය සහ දේශපාලනික වෙනස යථාර්ථයක් කිරීමේ අභියෝගය යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් ඊයේ (04) පස්වරුවේ සංවිධානය කෙරුණු ‘ජනරජ කතිකාව’ සාකච්ඡාමය වැඩසටහනේ ප්‍රධාන දේශනය සිදු කරමින්.

2022 වසර වන විට ද්විපාර්ශ්වික විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 28 කට ආසන්න වී තිබූ බවත්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගත් බහුපාර්ශවීය ණය ඩොලර් බිලියන 11 ක් පමණ ද, ඉහත ණය මුදලට අමතරව ශ්‍රී ලංකාවට දරන්නට සිදු ව ඇති බවයි හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ආණ්ඩුව මුහුණ දෙන තවත් අභියෝගයක් වන්නේ, පවත්නා ආර්ථික තත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාර ව පවත්වා ගෙන යමින් ඔවුන් විසින් පොරොන්දු වූ සුබසාධන පොරොන්දු පත්‍රය ඉටු කිරීමේ අභියෝගය බව ද, පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළා.

2022 අප්‍රේල් මස 12 වෙනි දින ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කරන විට ශ්‍රී ලංකාව විසින් ගෙවා නොමැති ණය සහ පොළිය ඩොලර් බිලියන 8 ඉක්මවා තිබුණා.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය රජය විසින් ඇති කර ගත් ගිවිසුමේ එකඟතා වෙනස් කිරීමට තමන් බලයට පත් වූ පසු කටයුතු කරන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඔවුන් තවදුරටත් එම ගිවිසුම මෙන්ම පසුගිය රජය විසින් ඉදිරියට ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ ම ඉදිරියට ගෙන යමින් සිටින බවයි ඔහු පෙන්වා දුන්නේ.

පවතින ආණ්ඩුවේ බලධාරීන් තිදෙනා ආර්ථික විෂයය සම්බන්ධයෙන් ප්‍රායෝගික අවබෝධයක් නොමැති බව පෙනී යනවා.

ඒ අනුව නිලධාරීන් විසින් දේශපාලකයන් කඩේ යවන තත්ත්වය රටට හිතකර නොමැති බව ද හෙතෙම උදාහරණ සහිතව පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දුන් බව සඳහන්.

ණය තිරසරකරණ වැඩපිළිවෙළ (Debt Sustainability Analysis) ඉදිරියට ගෙන යාමේ අදහසක් නොමැති බව පැවසූ ජාතික ජන බලවේගය ඒ සඳහා ජනාධිපතිවරණ සමයේ විකල්ප වැඩපිළිවෙළක් ද ඉදිරිපත් කළේ නැහැ.

කෙසේ වෙතත් මේ වන විට එම ඉලක්ක සපුරා ගැනීමට ඔවුන්ට කටයුතු කිරීමට සිදු ව තිබෙනවා.

ඒ අනුව, ණය සඳහා දළ දේශීය නිෂ්පාදිතය දරන අනුපාතය 2022 දී 128% ක් වූ අගය 2032 වන විට 95% දක්වා අඩු කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කය ආණ්ඩුව වෙත ලැබී ඇති බව සඳහන්.

වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව එම ඉලක්කය සතුටුදායක එකක් බවයි රණවක මහතා පෙන්වා එහිදී දුන්නේ.

එමෙන්ම දළ මූල්‍යනය අවශ්‍යතාව 2022 දී 34.6% ක් වූ අතර, එය 2032 වසර වන විට 13% කට වඩා අඩු කිරීම සහ 2022 දී 9.2% ක් වූ විදේශ ණය අනුපාතය 2027 – 2032 වන විට 4.5% දක්වා අඩු කර ගැනීම අපේක්ෂිතයි.

Share This