කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි: හිත නොරිද්දා ආදරයෙන් වගකියන පුතාලා හදන්න!
කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය ලෝකයේ වඩාත්ම ප්‍රචලිත සහ පැතිරුණු මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් එකක්.
ගෝලීය වශයෙන්, සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙක්ම තම ජීවිතයේ එක් වරක් හෝ ශාරීරිකව හෝ ලිංගිකව, සමීප සහකරු විසින්ම ප්‍රචණ්ඩත්වයට පත්වෙලා තිබෙනවා.
එහෙමත් නැත්නම් ඔවුන් හවුල්කාර නොවන ලිංගික හිංසනයට හෝ ලක්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ දත්ත වාර්තා පෙනවා දෙන්නේ.
2023 දී අවම වශයෙන් කාන්තාවන් 51,100ක් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ දී ඇති අතර ඔවුන් සියල්ලම තම සහකරුවන් සහ පවුලේ සාමාජිකයන් විසින් ඝාතනය වී තිබෙනවා.
සරලවම පවසනවා නම්, සෑම විනාඩි 10කටම කාන්තාවක් ඝාතනය වෙනවා.
තමන් මේ ලෝකයේ වැඩිපුරම ආදරය කළ, විශ්වාස කළ පුද්ගලයාගෙන් හිංසනයට ලක්වෙලා, ශාරීරීකව මරණයට පත් නොවුණත්, මනසින් මරණයට පත්වෙලා, නිකම්ම නිකන් හිස් ශරීර ඇතුලේ ජීවත් වෙන කාන්තාවන් කී දෙනෙක් නම් මේ ලෝකයේ ඉතිරි වෙලා ඇත්ද?
කාන්තාවන්ට එරෙහිව යන මෙම චක්‍රය අවසන් වන්නේ ම්ලේච්ඡ ක්‍රියාවකින්. එය කරන්නේත් එම කාන්තාවට වඩාත් සමීප අය වීම තමයි මෙහි ඇති භයානකම තත්ත්වය.
මෙම ව්‍යසනය කාන්තාවන් සහ ගැහැණු දරුවන් ඉන්න නිවෙස්වල විතරක් නෙමෙයි, ඔවුන් සේවය කරන සේවා ස්ථානය සහ සබැඳි අවකාශයන් ඇතුළු විවිධ සැකසුම් වලදී තීව්ර වෙලා තිබෙනවා.
විවිධ රටවල් අතර ඇතිවෙලා තිබෙන ගැටුම් සහ දේශගුණික විපර්යාස මගින් මේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය දවසින් දවස වැඩි වෙනවා.
මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙන ඊශ්‍රායල පලස්තීන යුද්ධය නිසා මරණයට පත්වුණ පිරිසගෙන් සියයට 70 ක්ම කාන්තාවන් සහ ළමයින් කියලා එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ප්‍රකාශ කළා.
ලෝකය පුරාම මොන විදිහට කාන්තාවන්ව රකින්න විධි ක්‍රම තිබුණත් ඔවුන් කාන්තාවන් ලෙස උපත ලැබීම ම , ම්ලේච්ඡත්වයට පත්වෙන්න කාරණාවක් වෙලා .
නමුත් දිගින් දිගටම මේ විදිහේ අසාධාරණකම් සිද්ද වීම වළක්වාගත යුතුයි.
ලෝකයේ වඩාත්ම ප්‍රචලිත සහ පැතිරුණු මානව හිමිකම් උල්ලංඝනයට විසඳුම පවතින්නේ ශක්තිමත් ප්‍රතිචාර, අපරාධකරුවන්ට වගවීම සහ මනා සම්පත් සහිත ජාතික උපාය මාර්ග හරහා ක්‍රියාමාර්ග වේගවත් කිරීම වගේම කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාර සඳහා අරමුදල් වැඩි කිරීම තුළින්.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සනිටුහන් කරමින්, නොවැ 25- දෙසැම්බර් 10 දක්වා දින 16 ක විශේෂ ව්‍යාපාරයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දී ඇති බව සඳහන්.
ලෝකය කොයි තරම් දියුණු වුණත්, කාන්තාවක් විදිහට ඉපදුන වෙලාවේ ඉඳලා සමාජයෙන් එන වැරදි සහගත බවෙන් ගැලවෙන්න පුළුවන් සමාජයක් අපි හදමු.
හැමකෙනෙක්ම සමාජ පරිවර්තන ගැන කතා කරන මේ වෙලාවේ, අපේ පවුල් ඇතුලේ , අපේ සම්බන්ධතා ඇතුලේ අපි කාන්තාවන්ව රකිමු.
රට සමාජය භාර ගන්න ඉන්න පුංචි පුතාලා ඉන්න අම්මලා, තමන්ට වඩා වයසින් වැඩිමල්, බාල වගේම තමන්ගේම වයසේ ඉන්න ගැහැණු ළමයින්ව රකින, ඔවුන්ට ගරු කරන , හිත නොරිද්දා ආදරයෙන් වගකියන පුතාලා විදිහට ලොකු කරන්න. එතකොට එහෙම පුතාලා වටේ ඉන්න අලුත් දුවලා ඔක්කොම ලස්සනට රැකෙයි.