ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවක් ස්ථාපිත කිරීමට පියවර
ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සෑම පුරවැසියකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීම, මෙම කමිටුවේ අරමුණයි.
ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබා දීම රජයේ ප්රමුඛ කාර්යයක් වනවා.
රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම සහ අවම වශයෙන් මාස 03කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම මෙම කමිටුවේ ප්රමුඛ කාර්යයක් වන බව සඳහන්.
රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම, ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම යන ක්‍රියාවලින් සඳහා පෞද්ගලික අංශයේ ද සහභාගීත්වය ලබා ගනිමින් ඵලදායී වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කිරීමද ඒ අතර වනවා.
ඒ අනුව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා සම්බන්ධිත සියලුම ආයතනයන්හි සහභාගීත්වය සහිත දත්ත හා තොරතුරු මත පදනම් වූ විද්‍යාත්මක විශ්ලේෂණයක් තුළින් ප්‍රතිපත්තිමය මග පෙන්වීම ලබා දීම සඳහා මෙම කමිටුව ස්ථාපිත කෙරෙනු ඇති.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යවරයාගේ සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ සම සභාපතීත්වයෙන් යුතුව අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සාමාජිකත්වයෙන් එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.