වෙනිසියුලාවේ “කුකුළා” ස්පාඤ්ඤය අමෙරිකාවට පිටුවහල් කරයි: රාජ්‍ය රහස් රැසක් අනාවරණ වීමේ අවදානමක්

MonaraMonara

වෙනිසියුලාවේ හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී හියුගෝ කර්වාජල් (Hugo Carvajal). ඡායාරූපය - REUTERS

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවකට මුහුණ දී සිටින වෙනිසියුලාවේ හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන හියුගෝ කර්වාජල් (Hugo Carvajal), එක්සත් ජනපදය වෙත පිටුවහල් කර තිබෙනවා.

කර්වාජල් දිවංගත වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්ගේ සමීප සගයෙකු වූ අතර ඔහුගේ රජය සහ චාවේස්ගේ අනුප්‍රාප්තිකයා වූ නිකොලස් මදුරෝගේ රජය පිළිබඳ ප්‍රධාන තොරතුරු ඔහු සතු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හිටපු ඔත්තු ප්‍රධානියා වෙනිසියුලාවෙන් පළා ගියේ වත්මන් ජනාධිපති නිකොලොස් මදුරෝට එරෙහි වීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව ඔහු වසර ගණනාවක් සැඟවී සිටි ස්පාඤ්ඤයෙන් මෙලෙස අමෙරිකා එක්සත් ජනපදය වෙත පිටුවහල් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එල් පොලෝ (කුකුළා) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කර්වාජල්, නිව්යෝර්ක් නුවර වෙත ගොඩ බැස පැය කිහිපයක් ඇතුළත ඔහු මුහුණදෙන පළමු නඩු කටයුත්ත සඳහා අධිකරණයට පැමිණීමට නියමිතව තිබෙනවා.

63 හැවිරිදි ඔහු වෙනිසියුලාවේ සිට එක්සත් ජනපදයට යන කොකේන් නැව්ගත කිරීම්, ආරක්ෂා කිරීම සඳහා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ඔහුගේ තනතුර භාවිතා කර ඇති බවටයි පැමිණිලිකරුවන් චෝදනා කර ඇත්තේ.

අසල්වැසි වෙනිසියුලාවේ කඳවුරු ඇති බව වාර්තා වන කොලොම්බියානු මාක්ස්වාදී කැරලිකාර කණ්ඩායමක් වන ෆාක් ගරිල්ලන් සඳහා ඔහු ආයුධ සැපයූ බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

කර්වාජල් ඔහුට එරෙහිව එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

2004 වසරේ සිට 2011 වසර දක්වා හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු, වෙනිසියුලාවේ බලවත්ම පුද්ගලයන්ගෙන් අයෙකු ලෙස සැලකුණු අතර, එකල ජනාධිපති හියුගෝ චාවේස්ගේ විශ්වාසවන්තයෙකුද වුණා.

ඔහුගේ නීතිමය ගැටළු 2011 දක්වා දිව යන අතර, එක්සත් ජනපද අධිකරණයක් ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් ප්‍රථම වරට චෝදනා එල්ල කළා.

වසර ගණනාවක් එක්සත් ජනපදයට පිටුවහල් කිරීම වළක්වා ගැනීමට ඔහු සමත් වූ අතර, 2014 වසරේදී ඔහු වෙනිසියුලාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස යවා තිබූ ලන්දේසි කැරිබියන් දූපතක් වන අරුබාහිදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත්, ඔහු රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තබාගෙන සිටි නිසා, අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී ලෙස පසුව තීන්දු කෙරුණා.

අනතුරුව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් යළිත් කැරකස් වෙත පැමිණි පසු ඔහුට එකල වීර පිළිගැනීමක්ද ලබාදුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, වසර පහකට පසුව ඔහු ජනාධිපති මදුරෝට එරෙහිව විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝට සහාය දුන්නේ ඔහු අන්තර්වාර ජනාධිපති ලෙස ප්‍රකාශ කළ අවස්ථාවේදීයි.

විපක්ෂ නායකයාට සහාය දෙන ලෙස කර්වාජල් හමුදාවෙන් ඉල්ලා සිටි අතර, සන්නද්ධ හමුදා ජනාධිපති මදුරෝට පක්ෂපාතී වීම හේතුවෙන් ඔහුට වෙනිසියුලාවෙන් පළා යෑමට සිදුවුණා.

ඔහු ඩොමිනිකන් රාජ්‍යයට අයත් බෝට්ටුවකින් පැන ගොස් ස්පාඤ්ඤයේ පදිංචියට පැමිණියේ ඉන් අනතුරුවයි. එහිදී ඇමෙරිකානු බලධාරීන්ගේ ඉල්ලීම මත ඔහු අත්අඩංගුවට ගැනුණු නමුත්, ස්පාඤ්ඤ අධිකරණයක් විසින් එක්සත් ජනපදයේ උදර්පන ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහුව නිදහස් කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, ස්පාඤ්ඤයේ ඉහළ අධිකරණයක් විසින් ඔහුව නිදහස් කිරීමට ගත් තීරණය අවලංගු කිරීමෙන් පසු කර්වාජල් නැවත අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පැමිණි අවස්ථාවේදී ඔහු පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

වසර දෙකක් සැඟවී සිටි ඔහු අවසානයේ මැඩ්රිඩ් හි මහල් නිවාසයකදී ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගනු ලැබුවා.

ව්‍යාජ උඩු රැවුලක් පැළඳ වෙස්වලාගෙන ඔහු ඔහු දුම්පානය සඳහා බැල්කනියට පැමිණ සිටි අවස්ථාවකදීයි එලෙස ඔහු අත්අඩංගුවට පත්ව තිබුණේ.

ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීම වැළැක්වීමට උත්සාහ කළ, තවත් නීතිමය සටන් අනුගමනය කළ අතර අත්අඩංගුවේ සිටීමට අවසර දෙන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, පසුගිය සතියේ යුරෝපීය මානව හිමිකම් අධිකරණය, පිටුවහල් කිරීම නවත්වන ලෙස කර්වාජල් මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුව එක්සත් ජනපදයට ගෙන යන ලෙස ජාත්‍යන්තර පොලිසියට නියෝග කරනු ලැබුවා.

ඔහු එහි ගිය පසු චාවේස් සහ මදුරෝ ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු එක්සත් ජනපද බලධාරීන් සමඟ හුවමාරු කරගනු ඇතැයි ඇතැම් විචාරකයින් මත පළ කරනවා.