කෑගැසීම් යටපත් කිරීමට ශබ්ද නගා සංගීතය වාදනය කරමින් කතකට වධ දී ඝාතනය කරයි: "සමීනාගේ කෑගැසීම නො ඇසෙන පරිදි විත්තිකරු හයියෙන් සංගීතය වාදනය කර ඇත. දින දෙකක් පුරා සංගීතය නොනවත්වා වාදනය වූ පසු අසල්වාසීන් අපව දැනුවත් කළා. පරීක්‍ෂණ ක්‍රියාත්මකයි..."

MonaraMonara

සිය පුතුගේ උපන්දිනය සමරමින් සිටි අඹුසැමි යුවළකගේ නිවස තුළ මෙම ඝාතනය සිදුව තිබේ. ඡායාරූප : ndtv.com

Colombo (Monara) June 21 - ඥාතීන් විසින් කාන්තාවකට වධහිංසා පමුණුවා මරණයට පත්කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

වධහිංසන දරාගත නොහැකිව කෑගසන ඇගේ කෑගැසීම් යටපත් කිරීමට නිවසේ පිරිස් ශබ්ද නඟා සංගීතය වාදනය කර තිබෙනවා.

සමීනා (Samina) නම් 23 හැවිරිදි මෙම තරුණියට තලයකින් සහ පොලුවලින් පහර දී ඇත්තේ ඇය ලවා පාපොච්චාරණයක් කර ගැනීමට බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දින දෙකක් පුරාවට නිවසේ නොනවත්වා වාදනය වන ඝෝෂාකාරී සංගීතයක් ඇසීමත් සමඟ අසල්වාසීන් ඒ පිළිබඳව සැක කර ගාසියාබාද් (Ghaziabad) පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඇයට මෙලෙස වධහිංසා පැමිණවීමට හේතුව ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම කාන්තාව විසින් ස්වර්ණාභරණ සොරකම් කළ බවට ඇති වූ සැකයකි.

කාන්තාව මියගිය පසු ඇයට පහර දුන් සැකකරු පලාගොස් ඇති බවයි සඳහන් වන්නේ.

සමීනා සඳුදා උපන්දින සාදයකට සහභාගී වීම සඳහා ගාසියාබාද් හි සිද්ධාර්ත් විහාරයේ පිහිටි ඇගේ ඥාතීන් වන හීනා සහ රමේෂ්ගේ නිවසට ගොස් තිබෙනවා.

එහිදී එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 5ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී ඇති අතර එය සමීනා සොරකම් කර ඇති බවට අඹුසැමි යුවළ සැක කර තිබෙනවා.

ඒ අනුවයි ඔවුන් ඇයගෙන් 'පාපොච්චාරණයක්' ලබාගැනීමට ඇයට පහර දෙමින් ඇගේ සිරුරේ කොටස් පවා තලයකින් කපා, ඇගේ කෑගැසීම අසල්වැසියන්ට නොඇසෙන පරිදි ශබ්ද නගා සංගීතය වාදනය කර ඇත්තේ.

වධහිංසා පැමිණවීම නිසා ඇය මිය ගිය විට, විත්තිකරු පලා ගිය නමුත් සංගීතය දිගටම ක්‍රියාත්මකව තිබෙනවා.

මේ පිළිබඳව විමර්ශන සිදුකරන සහකාර පොලිස් කොමසාරිස් රවී කුමාර් ඉන්දීය මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. ඒ අනුව,

"සමීනාගේ කෑගැසීම නො ඇසෙන පරිදි විත්තිකරු හයියෙන් සංගීතය වාදනය කර ඇත. දින දෙකක් පුරා සංගීතය නොනවත්වා වාදනය වූ පසු අසල්වාසීන් අපව දැනුවත් කළා. පරීක්‍ෂණ ක්‍රියාත්මකයි..." යනුවෙන් ඔහු පවසා තිබුණා.