රුසියාව හඳට: ඉන්දියාව සමග තරගයක්?

MonaraMonara

photo - Roscosmos State Space Corporation via AP

ලෝක බලවතුන් අතර දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ තවත් යුද්ධයක් වූයේ, අභ්‍යවකාශය ජයගැනීමයි.

මේ යටතේ සෝවියට් රුසියාව, චීනය, අමෙරිකාව අතර පැහැදිලි තරගයක් පවතිනවා.

මේ අභ්‍යවකාශ තරගයට එක්වූ නවතම රට ඉන්දියාව ලෙස හැඳින්විය හැකියි.

ඉන්දියාව පසුගිය ජුනි 14 වනදා චන්ද්‍රයාන් 03 යානාව පිටත් කර හැරියේ, චන්ද්‍රයාගේ දකුණු අර්ධයේ පරීක්ෂණ මෙහෙයවීම සඳහායි.

චන්ද්‍රයාන් 03 අගෝස්තු 24 පමණ වන විට සඳ මතට ගොඩ බැසීමට බලාපොරොත්තුවෙන් පසුවනවා.

මේ අතර, රුසියාව තම සඳ ගමන නැවත අද උදෑසන ආරම්භ කළා.

ලෝකයෙන් හුදකලාව සිටින අතරතුර තම අභ්‍යාවකාශ තරගය අමතක නොකළ රුසියාව තනිවම සඳ වෙත ගමන් කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

photo - Roscosmos State Space Corporation via APphoto - Roscosmos State Space Corporation via AP

photo - Roscosmos State Space Corporation via AP

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ සහාය නොමැතිව රුසියාව මෙලෙස සඳ වෙත යානයක් දියත් කරන්නේ, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය නිසා, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය රුසියාව සමග තිබූ සබඳතා අත් හැරි නිසයි.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග බොහෝ රටවල් රුසියාව හුදකලා කිරීමට පියවර ගත්තා.

එහෙත් තම තාක්ෂණය සහ හැකියාව මත විශ්වාසය තැබූ රුසියාව, කිලෝ 800 ක බරින් යුතු ලූනා 25 යානාව අද උදෑසන 2.10 ට ඈත පෙරදිග Vostochny Cosmodrome වෙතින් දියත් කිරීම සිදු කළා.

රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය “රොස්කොස්මොස්” විසින් විකාශනය කරන ලද සජීවී ඡායාරූපවලට අනුව සාර්ථක ලෙස අභ්‍යාවකශගත වී ඇති ලූනා 25 යානය දින 5 ක් ඇතුළත සඳෙහි කක්ෂයට පිවිසෙනු ඇති.

එය අගෝස්තු 23 වනදා සඳෙහි දකුණු අර්ධයට ගොඩ බැස පරීක්ෂණ ආරම්භ කරනු ඇති.

වසරක කාලයක් ලූනා 25 යානය සඳ මත සිට, වසර 50 කට පමණ පසු සඳ සොයා ගිය රුසියාවට තමන් අභ්‍යවකාශය ජයගත් පළමු ජාතිය බව මතක් කර දෙනු ඇති.

ඉන්දියාව සඳෙහි දකුණු අර්ධයේ පරික්ෂණ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ අගෝස්තු 24 වනදා සිටයි.