දරුවො පාසල් නොගියොත් දෙමාපියන් සිරගෙදරට !: ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම අරමුණයි

MonaraMonara

ඡායාරූප : getty image

ඉදිරි අධ්‍යයන වර්ෂය සඳහා ගුණාත්මක අධ්‍යාපන ඉහළ නැංවීමක් අපේක්ෂා කරමින් සෞදි අරාබිය විසින් දැඩි තීරණයකට එළඹ තිබෙනවා.

ඒ සෞදි අරාබියේ පාසල් මඟහරින සිසුන්ගේ දෙමාපියන් සිරගත කිරීමටයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට දරුවන් දින 20ක් පාසල් යාමෙන් බැහැරව සිටියහොත් මෙලෙස ඔවුන්ගේ දෙමාපියන්ට සිර දඬුවම් ලැබීමට සිදුවන බවයි.

රටේ පවතින ළමා ආරක්ෂණ නීතියට අනුකූලව මෙම ක්‍රියාව සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව නිශ්චිත නීත්‍යනුකූල හේතුවක් නොමැතිව සිසුවෙක් දින 20ක කාලයක් පාසලෙන් බැහැරව සිටියි නම්, ඔවුන්ගේ දෙමාපියන්ට (භාරකරු හට) එරට ළමා ආරක්ෂණ නීතිය යටතේ පවරන පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ.

පරීක්ෂණය අවසන නඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන්.

එහිදී දරුවන් පාසල් නොපැමිණීම සම්බන්ධයෙන් දෙමාපියන්ගේ නොසැලකිලිමත් බව සනාථ වුවහොත් දෙමව්පියන්ට එරෙහිව සුදුසු සිර දඬුවමක් නියම කිරීමට විනිසුරුවරයෙකුට බලය ඇති බවයි එරට අධිකරණ අංශ සඳහන් කරන්නේ.

මෙම පියවර නව අධ්‍යයන වර්ෂයේ "පරමාදර්ශී අධ්‍යයන" සහතික කිරීමේ උත්සාහයේ කොටසක් බව ද වැඩිදුරටත් සඳහන්.

Gulf News සඳහන් කරන පරිදි පාසල් නොපැමිණෙන සිසුන්ගේ භාරකරුවන්ට එරෙහි නීතිමය ක්‍රියා පටිපාටිය අදියර කිහිපයකින් සමන්විතයි.

ප්‍රථමයෙන්, පාසලේ විදුහල්පතිවරයාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන අදාළ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම අනිවාර්ය වේ.

ඉන්පසුව, රටේ අධ්‍යාපන අමාත්‍යාංශය මෙම නඩුවේ කටයුතු භාරගනු ඇත.

අනතුරුව පාසලට නොපැමිණීමට හේතුව පිළිබඳව පවුල් ආරක්ෂණ දෙපාර්තමේන්තුව, ශිෂ්‍යයාගෙන් විමසනු ඇත.

මේ සියල්ලට පසු අවශ්‍ය නම්, නඩුව උසාවියට ගෙන යාමට පෙර භාරකරුට පරීක්ෂණයකට අදාළ පැමිණිල්ල යොමුකළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සෞදි අරාබියේ සිසුන් මිලියන 6කට වැඩි පිරිසක් මාස දෙකක ගිම්හාන නිවාඩුවෙන් පසු නැවත පාසල් වෙත පැමිණ ඇති බවයි.

එවන් සැලකිය යුතු වර්ධනයක් තුළ, සෞදි අධ්‍යාපන අමාත්‍යාංශය ද නව විෂයයන් ද්විතියික පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි සඳහන්.