දුරකතනය සොයා ජලාශයක් හිස් කළ නිලධාරියෙක්: ජලාශයට වැටුණු තම දුරකතනය යළි සොයා ගැනීම සඳහා එහි ජලය සම්පූර්ණයෙන්ම බැස යෑමට සලස්වා හිස් කිරීමට නියෝග කළ රාජ්‍ය නිලධාරියෙකුගේ වැඩ තහනම් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වුණා.

MonaraMonara

The Kherkatta reservoir in Chhattisgarh, India ඡායාරූපය - RAMANMANN1974

ජලාශයට වැටුණු තම දුරකතනය යළි සොයා ගැනීම සඳහා එහි ජලය සම්පූර්ණයෙන්ම බැස යෑමට සලස්වා හිස් කිරීමට නියෝග කළ රාජ්‍ය නිලධාරියෙකුගේ වැඩ තහනම් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වුණා.

සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී රාජේෂ් විශ්වාස් නැමැති මෙම නිලධාරියාගේ අතින් ඔහුගේ ජංගම දුරකතනය ජලාශයට වැටී ඇති අතර, පසුව එය සොයා ගැනීම සඳහා ඔහු නියෝග කිරීමත් සමඟ වේල්ලෙන් ජලය ලීටර් මිලියන ගණනක් පොම්ප කිරීම සඳහා දින 03 ක කාලයක් ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, ජලාශය සිඳුවා එය සොයා ගන්නා විට ඔහුගේ ජංගම දුරකතනය යළිත් අළුත්වැඩියා කළ නොහැකි තත්ත්වයක පැවතියා.

ජලාශයේ ජලය හිස් කිරීමට හේතු ලෙස ආහාර පරීක්ෂකවරයෙකු වන රාජේෂ් විශ්වාස් නැමැති මෙම රාජ්‍ය නිලධාරීයා ප්‍රකාශ කර තිබුණේ ජංගම දුරකතනයේ සංවේදී රජයේ දත්ත අඩංගු වූ බැවින් එය නැවත ලබා ගැනීමට අවශ්‍ය වූ බවයි.

කෙසේ වෙතත්, ඔහුගේ තනතුර අනිසි ලෙස භාවිත කළ බවටයි ඔහුට මේ වනවිට චෝදනා එල්ල වී ඇත්තේ.

මධ්‍යම ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ කර්කට්ටා වේල්ල මත සිටියදී ඉන්දීය රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඔහුගේ දුරකතනය පසුගිය ඉරිදා ජලාශයට වැටී තිබුණා.

දේශීය කිමිදුම්කරුවන් යොදා දුරකතනය සොයා ගැනීමට උත්සාහ කළත්, එය ව්‍යර්ථ වූ පසු මෙම රාජ්‍ය නිලධාරීයා මුදල් ගෙවා ඩීසල් පොම්පයක් ගෙන්වා ගෙන ඇති බව සඳහන්.

එසේම, අසළ ඇළකට ජලය බැහැර කිරීම සඳහා තමාට අවසරයක් ලැබුණු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

පොම්පය මගින් ඔහු දළ වශයෙන් ජලය ලීටර් මිලියන දෙකක් (ගැලුම් 440,000) හිස් කර ඇති අතර, එමඟින් වර්ග කිලෝමීටර් 6 (හෙක්ටයාර් 600) ක ගොවිබිම් වලට ජලය සැපයීමට ප්‍රමාණවත් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ජල සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පරීක්ෂණයක් නිමවනතුරු ඔහුගේ වැඩ තහනම් කර ඇති අතර, ජලාශය හිස් කළ නිලධාරීයා ප්‍රකාශ කර ඇත්තේ තමා විසින් ජලය පිටතට යැවූයේ වේල්ලේ පිටාර ගලන කොටසෙන් බවයි.