අමෙරිකානු පිහිනුම් ශූරියගේ මරණයට හේතුව මාස 08කින් පසුව එළියට: අධි මාත්‍රාවෙන් විෂක් ශරීරගත වෙලා

MonaraMonara

Jamie Cail ඡායාරූප සහ මූලාශ්‍රය -edition.cnn.com

අමෙරිකාවෙන් බිහි වූ පිහිනුම් ශූරියක් වන 'Jamie Cail'ගේ මරණය උග්‍ර විෂක් ශරීරගත වීමෙන් සිදු ව ඇති බවට පුළුල් ව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවල දී සනාථ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇයගේ මරණයට හේතුව ලෙස වෛද්‍ය වාර්තා පෙන්වා දෙන්නේ; fentany නමැති ඖෂධය අධි මාත්‍රාවෙන් ලබා ගැනීම හේතුවෙන් එය රුධිරගත වී විෂක් බවට පත්ව ඇති බවයි.

Jamie Cail 2023 පෙබරවාරි මාසයේ ශාන්ත ජෝන් දූපතේදී හදිසියේ ම ජීවිතක්ෂයට පත් වුණා.

ඇයගේ මරණයට හේතුව අබිරහසක් ව පැවති අතර, මිය යනවිට ඇය ජීවත් වූයේ අමෙරිකාවේ වර්ජින් දූපත්වලයි.

එක්සත් ජනපද වර්ජින් දූපත් පොලිස් දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් සටහනකට අනුව හිටපු එක්සත් ජනපද පිහිනුම් ශූරී ජේමි කේල්ගේ මරණය අහම්බයක් බවයි වාර්තා කර ඇත්තේ.

වෛද්‍ය පරීක්ෂකගේ වාර්තාවේ දැක්වෙන්නේ ජේමිගේ මරණයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඇයගේ ආමාශයික විෂ සාන්ද්‍රණය අතිශය ඉහළ මට්ටමක පැවති ඇති බවටයි.

මිය යනවිට ජේමි පසුවූයේ 42 හැවිරිදි වියෙහියි.

ඇයගේ මෘතදේහය නිවසෙහි උඩ තට්ටුවෙහි තිබී සොයා ගැනුණා.

Fentanyl යනු සම්පූර්ණයෙන්ම කෘත්‍රිම ඖෂධයක් වන අතර, එය ශල්‍යකර්ම සඳහා ප්‍රබල නිර්වින්දකයක් ලෙස නිපදවා තිබෙනවා.

පිළිකා වැනි මාරාන්තික රෝග හා සම්බන්ධ දැඩි වේදනාවන් සමනය කිරීම සඳහා ද එය වෛද්‍යවරුන් විසින් භාවිතා කරනු ලබනවා.

Jamie Cail යනු නිව් හැම්ප්ෂයර් හි 1997 දී පෑන් පැසිෆික් ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගත් ක්‍රීඩිකාවයි.

ඇය එක්සත් ජනපද කාන්තා මීටර් 4x200 නිදහස් ආර සහාය පිහිනීමේ කණ්ඩායමේ සාමාජිකාවක් ද වනවා.

ජේමී 1998 නොවැම්බර් මාසයේ බ්‍රසීලයේ පැවති FINA පිහිනුම් ලෝක කුසලානයේ කාන්තා මීටර් 800 නිදහස් ආර ඉසව්වෙන් රිදී පදක්කමක් ද දිනා ගත් ශූරියක්.