Apple නිෂ්පාදනවලට වාරණයක් දැම්මේ නැහැ: චීන රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශයක් - අමෙරිකාව කනස්සල්ලෙන්

MonaraMonara

මූලාශ්‍රය - CNN TECH

චීන රජය විසින් Apple සමාගමට එරෙහිව පනවා ඇතැයි පැවසෙන වාරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

චීන රජයේ ප්‍රකාශකයෙකු ඊයේ දිනයේ දී සඳහන් කර ඇත්තේ චීන රජය විසින් අදාළ Apple (iPhone) සමාගමට එරෙහිව කිසිදු තහනමක් පනවා නැති බවයි.

Apple සමාගමේ iPhone නිෂ්පාදන භාවිත කිරීම සිය රටේ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට තහනම් කර ඇති බවටයි පසුගියදා බොහෝ ප්‍රසිද්ධ විදෙස් මාධ්‍ය වාර්තා (CNN, REUTERS) කර තිබුණේ.

චීන රජයේ ප්‍රකාශය වැඩිදුරටත් කියා සිටිනේ සිය රජයේ පාර්ශ්වයෙන් අයිෆෝන් හෝ වෙනත් විදේශීය දූරකථන සන්නාමයක් භාවිත කිරීමට එරෙහිව වාරණයක් හෝ වෙනත් කිසිවක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි.

චීන රජයේ පාර්ශ්වයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්;

“We have always been open to foreign companies and welcome them to seize the opportunities and share the fruits of China’s economic development..'' යනුවෙන් අදාළ වාරණය සම්බන්ධයෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Mao Ning බීජිං හි පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා.

තමන්ගේ රාජ්‍යය ඕනෑම අවස්ථාවක විදේශීය සමාගම වෙනුවෙන් පෙනී සිටින බවත්, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා චීනයේ ආර්ථික දොරටුව විවෘත කර ඇති බවත්, විදෙස් සමාගම්වල නිෂ්පාදන සාදරයෙන් පිළිගන්නා බවත් චීනය සඳහන් කරනවා.

එමෙන්ම Apple සමාගමේ නිෂ්පාදනවල ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් බොහෝ මාධ්‍ය වාර්තා විවිධ අයුරින් පළ වී ඇති බවත්, ඒවා චීනය විසින් නිරීක්ෂණය කරන ලද බවත්, තම රට සිය රාජ්‍යයේ ස්වාධීනත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් විමසිලිමත් වන බව ද මාඕ නින්ග් ප්‍රකාශිකාව වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

තම රටේ රහස්‍යතා නීති පද්ධතිය අනුගමනය කරමින් විදේශීය දූරකථන වෙළෙඳපොළට එක්වන ලෙසට විදෙස් සමාගම්වලින් සිය රජය ඉල්ලා සිටින බව ද ඇය කියා සිටිනවා.

ඇය ප්‍රකාශය විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙසයි;

''Mao did not elaborate. She also urged foreign cellphone companies in China to follow the country’s privacy laws and to prevent “any person or organization” stealing data stored in their customers’ phones..'' යනුවෙන්.

පසුගිය සතියේ The Wall Street Journal වාර්තා කළේ, චීන මධ්‍යම රජයේ නිලධාරීන් විසින් අයිෆෝන් භාවිතය තහනම් කර ඇති බවයි.

එය චීන රජයේ සේවකයින්ට මෙන් ම පෞද්ගලික අංශයේ සේවකයින්ට ද වලංගු බවත්, ආයතන පරිශ්‍රයට කිසිදු ලෙසකින් Apple සමාගමේ නිෂ්පාදන රැගෙන පැමිණිය නොහැකි බවත්, ඒවා භාවිත කිරීමට නොහැකි බවත් දැනුම්දී තිබෙනවා.

අදාළ වාරණය ආයතන ප්‍රධානීන්ට චීන රජය විසින් දැනුම්දීමට පියවර ගෙන ඇති බවටයි 'ද වෝල් ස්ට්‍රීට් ජර්නල්' වාර්තා කර තිබුණේ.

මෙම සිදුවීමත් සමග ම Apple සමාගමේ කොටස්වල විශාල පහත වැටීමක් පෙන්නුම් කළා.

මාස 06ක් තුළ සිදු වූ විශාලතම අලාභය චීන රජය විසින් පනවන ලදැයි කියූ තහනම මාධ්‍යය වාර්තා කිරීමත් සමග සිදු වූ බවයි දක්නට ලැබුණේ.

කෙසේවෙතත් අමෙරිකානු ධවල මන්දිරය චීන රජයේ තීරණය ගැන කියා සිටියේ එම තීන්දුව දැඩි කනස්සල්ලකට හේතු වූ ඇති බවයි.