අයවැය ඡන්දයට කලින් ඇමතිකම් ලැබෙයිද?: පොහොට්ටුවේ පිරිසක් තවමත් ඇමතිකම් අපේක්ෂාවෙන්

MonaraMonara

කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ලබන වසර සඳහා වන අයවැයට මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීම අරමුණු කරගනිමින් මෙම සංශෝධනය සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

එම ආරංචි මාර්ගවලට අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී මේ වනවිට අමාත්‍ය ධුර නොදරන පිරිසකට අලුතින්ම අමාත්‍ය ධුර හිමිවනු ඇති බව සඳහන්.

අමාත්‍ය ධුරවල වෙනස්කම් සඳහා රජයට දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ හවුල්කාර පක්ෂවලින්

යෝජනා ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට අමාත්‍ය ධුර දෙන ලෙස එම පක්ෂයේ නායකයන් මීට පෙර අවස්ථා ගණනාවකදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර තිබුණා.

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිගින් දිගටම අසාධාරණකම් සිදු වුවහොත් අයවැය හෝ වෙනත් තීරණාත්මක අවස්ථාවලදී සුදුසු ප්‍රතිචාර දක්වන බව එම පෙරමුණේ මන්ත්‍රීවරු ගණනාවක්ම පසුගිය කාලයේදී අනතුරු ඇඟවීම් සිදුකළා.

ලබන වසර සඳහා වන අයවැය ‌ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 13 වැනිදායී.