පරිවර්තනීය වෙනසකට අලියාගේ විශේෂ මහා සම්මේලනය අනිද්දා: අලුත් හවුල් ඇති කරගන්න ව්‍යවස්ථාවට සංශෝධන

MonaraMonara

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අනිද්දා පස්වරු‌ දෙකට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එය උත්කර්ෂවත් අයුරින් සංවිධාන කිරීමට ‌කටයුතු යොදා ඇති බවයි පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙවර සම්මේලනයේදී පක්ෂ ව්‍යවස්ථාවට සුවිශේෂී සංශෝධන කිහිපයක් ඇතුළත් කරන බවයි.

අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩ නැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා මෙම ව්‍යවස්ථා වෙනස සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

මිත්‍ර දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරීම සඳහාද ව්‍යවස්ථාවේ සංශෝධන ඇතුළත්ව ඇති බවයි වජිර අබේවර්ධන මහතා කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයෙන් පසුව සියලු ජාතීන්, ආගම්, ජන කොටස් මෙන්ම තරුණ පරපුර ඉදිරියට ගැනීම සඳහා ශ්‍රී ලංකාව පුරා නව ගමන් මගක් ජනාධිපති, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය මෙම විශේෂ මහා සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ලෙස බවත්, අතීත අභියෝග ජයගත්තා සේ අනාගත අභියෝග ජය ගැනීමටද එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබෙන බවත් පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා තවදුරටත් කියා සිටියා.