තුන් හැවිරිදි දැරියට දිවි අහිමිකළ අනතුර: අද උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේදී යුද හමුදාවට පවරාගත් බස් රථයක් ස්කූටි වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් තුන් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.

MonaraMonara

ජීවිතක්ෂයට පත්වූ දැරිය සහ අනතුර සිදුකළ රථය

Colombo (Monara) June 22; අද උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේදී යුද හමුදාවට පවරාගත් බස් රථයක් ස්කූටි වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් තුන් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.

රයිගම ප්‍රදේශයේ පදිංචි ඉසදි දෙනෙත්මා සපුගේ නමැති මියගිය දැරිය සිය මව සමඟ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

කළුතර සිට යුද හමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලයේ රැගෙන යමින් සිටි මෙම බස් රථය බණ්ඩාරගම සමුපාකාර කර්යාලය ඉදිරිපිටදී අපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ දකුණු පසින් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බණ්ඩාරගම සමුපාකාර සමිති කාර්යාලයේ ගණකාධිකාරිවරිය වන මියගිය දැරියගේ මව දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත භාරදී කාර්යාලයට යාමටයි පැමිණෙමින් සිට ඇත්තේ.

බරපතළ තුවාල ලබා සිටි දැරිය සහ මව බණඩාරගම දිසා රෝහලට ඇතුළත් කරන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

දැරියගේ මව බණ්ඩාරගම දිසා රෝහලේ සිට පානදුර දිසා රෝහල වෙත මාරුකර යවා ඇති අතර බස් රථය පැදවූ රියදුරු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.