ජනමතය බලාගන්න නම් මැතිවරණයකට එන්න - තිස්සගෙන් අභියෝගයක්: ජනාධිපතිවරයා මැතිවරණයක් අවශ්‍ය නොවන බවක් අදහස් කරන බව තිස්ස අත්තනායක මහතා පවසනවා...

MonaraMonara

ඡායාරූපය : colombo නිරෝෂන්

Colombo (Monara) June 05 - ජනාධිපතිවරයා විසින් නුවර එළියේ පැවති නීතීඥ සමුළුව අමතමින් කළ කතාවේ මැතිවරණය සම්බන්ධව කළ ප්‍රකාශ පිළිබඳව සමගි ජන බලවේග විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අදහස් දක්වා සිටියා.

ඒ අනුව ඔහු පවසන්නේ ජනාධිපතිවරයා එම කතාවෙන් මැතිවරණයක් අවශ්‍ය නොවන බවක් අදහස් කළ බවයි.

මැතිවරණ කල් දැමීමට අවශ්‍ය නම් ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ කැමැත්ත මත එය කළ යුතු බවත් නීතිය වෙනස් කර ව්‍යවස්ථාව වෙනස් කරමින් මැතිවරණ කල් දැමීමට නොහැකි බවත් පවසා සිටියා.

තව දුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන්ට අනුව මැතිවරණයක් අවශ්‍ය නැති බවට පණිවිඩයක් ලබාදීමට උත්සාහ කරන බවයි.

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කල් දමා ඒ වෙනුවට පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවේ නියෝජිතයින් පත් කිරීමට උත්සාහ දරන බවත් එලෙස නියෝජිතයන් පත්කිරීම මැතිවරණයට බාධාවක් බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම මෙවැනි නියෝජිතයින් පත් කිරීම සදාචාර සම්පන්න නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.

ජනමතය පිළිබඳව පූර්ව නිගමනයකට නෑවිත් මැතිවරණ පවත්වන ලෙස අවධාරණය කරන ඔහු ජනමතය බලාගැනීමට අවැසි නම් මහ මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට යා යුතු බවයි පවසන්නේ.