"මේක සිංහල බෞද්ධ රටක්.." - සරත් වීරසේකර මුලිතිව් මහේස්ත්‍රාත්වරයාට අනතුරු අඟවයි: ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවට මුලිතිව් දෙමළ ජාතික මහේස්ත්‍රාත්වරයා සිහියේ තබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසනවා.

MonaraMonara

34 වන මානව හිමිකම් ‌සමුළු‌වට එක් වෙමින් Freddy Gamage

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවට මුලිතිව් දෙමළ ජාතික මහේස්ත්‍රාත්වරයා සිහියේ තබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජුලි මස 07 වැනිදා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින්.

පසුගිය ජුලි මස 04 වැනිිිදා කුරුන්දූර් මලෙයි හෙවත් කුරින්දි විහාරයේ නිරීක්ෂණ චාරිකාවට එක්වූ අවස්ථාවේ දී තමන් ඇතුළු පිරිසට එම ස්ථානයෙන් පිටත් වන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීම පිළිගත නොහැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතුවලට මැදිහත් වීමට අධිකරණයට බලයක් නොමැති බවත් විනිසුරුවරුන්ට ඒ සම්බන්ධයෙන් දැනුමක් නොමැති බවත් සරත් වීරසේකර මහතා අවධාරණය කළා.

මෙරට ඇති සිංහල බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම සිංහලයන්ගේ වගකීම වනවා.

පුරාවිද්‍යාත්ම ස්ථානයක් සංරක්ෂණය කිරීමට යොදා ගත් අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණයට ප්‍රශ්න කළ නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදු වන ආකාරයට සරත් වීරසේකර මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය හෙළා දකින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළා.

සරත් වීරසේකර මන්ත්‍රීවරයා සිංහල බෞද්ධ ජාතිවාදීන් පිනවීමේ අරමුණින් අදහස් ප්‍රකාශ කරන බවත් එය මෙරට තුළ පවතින සාමයට බාධාවක් වන බවත් ඔහු කියා සිටියා.

කුරුන්දූ මලෙයි හෙවත් කුරින්දි විහාරය සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුව කඩ කර ඇද්දැයි සොයා බැලීමටයි මහේස්ත්‍රාත්වරයා එහි පැමිණ සිටියේ.

සිය රාජකාරිය ඉටු කළ මහේස්ත්‍රාත්වරයාට මෙලෙස දෝෂාරෝපණය කිරීමට තම අප්‍රසාදය පළ කරන බව ද සුමන්දිරන් මහතා ප්‍රකාශ කළා.

මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයාගේ ජාතිය උළුප්පා දැක්වීමට සරත් වීරසේකර මහතා කටයුතු කරන බවයි දෙමළ ජාතික ජනතා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් චෝදනා කළේ.

විනිසුරුවරයා නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ දී තමන් එම ස්ථානයේ සිටි බවත් සරත් වීරසේකර මහතාට එම ස්ථානයෙන් පිටතට යන ලෙසට හෝ නිරීක්ෂණය කිරීමට බාධා නොකළ බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් එම ස්ථානයෙන් පිටතට පැමිණ අදහස් දැක්වීමක් සිදු නොකළ යුතු බවට දැනුම් දුන් බව සඳහන්.

එසේ තිබිය දී මෙලෙස අදහස් ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා බිය ගන්වා ඔහුගේ ස්වාධීනත්වයට හානි කිරීමක් සිදු කර තිබෙනවා.

එය ඔහුව මෙම නඩුවෙන් ඉවත් කිරීමට ගන්නා උපක්‍රමයක් බවයි සෙල්වරාජ ගජේන්ද්‍රන් පෙන්වා දෙන්නේ.

හිටපු මහජනා ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරුද්ධව පියවර ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

සරත් වීරසේකර මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි විග්නේෂ්වරන් මහතා ද අදහස් පළ කළා.

එහි දී ඔහු ප්‍රකාශ කළේ, සරත් වීරසේකර මහතා තමන් සිංහල ජාතිකවාදියෙකු ලෙස තමන් ව හඳුන්වා දීමට මෙලෙස මැර දේශපාලනයක නිරත වන බවයි.