මිනුවන්ගොඩ වෙඩි තැබීමට යොදාගත් T-56 ගිනි අවිය STF භාරයට: ගනිදු සදුමින නමැත්තා විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 24 වැනිදායි.

MonaraMonara

සැකකරු, විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මහේෂ් සහ අවිශ්ක යන අයගේ සමීපතමයෙක් STF MEDIA

Colombo (Monara) June 26 - විශේෂ කාර්ය බලකා නිලධාරීන් මිනුවන්ගොඩ පොලිස් වසමේ නිල්පනාගොඩ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී T-56 ගිනි අවියක් සහ ඒ සඳහා යොදන උණ්ඩ 3ක් සහිත ගැබ් එකක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මනික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂ් සහ අවිශ්ක යන පුද්ගලයන්ගේ සමීපතමයෙකු වන වයස අවුරුදු 28ක කටුවල්ලේගම පදිංචි සුදේශ් මධුශාන් නමැති අයෙක්.

මෙම T-56 ගිනි අවිය, ගනිදු සදුමින නමැත්තා විසින් පසුගිය 17 වැනි දින මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සඳහා භාවිතා කරන ලද බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් ගනිදු සදුමින නමැත්තා විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 24 වැනිදායි.

17 වැනිදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා වන ශ්‍රියන්ත සමන් කුමාර නොහොත් මාමා නමැත්තා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ හෙරොයින් සමග පසුගිය 20 වැනිදා කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

මෙම T-56 ගිනි අවිය බස්නාහිර හා දකුණු පළාත්වල සිදු වූ ඇතැම් වෙඩි තැබීම්වලදී භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින අතර සිද්ධිය සම්බන්ධනේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගිනි අවිය ඇතුළු භාණ්ඩ සහ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා.