කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අද අධිකරණයට: මෙම සැකකරුවන් සියල්ල කළුතර සහ බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

MonaraMonara

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඡායාරූපය - www.dinamina.lk

Colombo (Monara) June 09 - කළුතර නගරයේ ළැඟුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන් සිව්දෙනා කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය වෙත පසුගිය 26 වැනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඇය විසින් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළ මෙම තීන්දුව දෙනු ලැබුවේ.

දැරිය පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටි බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන සැකකරුවන් වන 23 හැවිරිදි තරුණයා, 19 හැවිරිදි තරුණිය සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය පදවාගෙන ගිය බව කියන 19 හැවිරිදි තරුණයකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙම සැකකරුවන් සියල්ල කළුතර සහ බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක මැදගම සහ පොලිස් පරීක්ෂක පොල්වත්ත ඇතුළු නිාධාරින් විසින් සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලබනවා.