කැලණි ගඟේ ජලය අපවිත්‍ර වූ හේතුව හෙළි වෙයි: රබර් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නක් කැලණි ගඟේ ජලය අපවිත්‍ර වීමට හේතු වී ඇති අතර, එහි ගිනිගත් රබර් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන දැවී දියර ලෙස කැළණි ගඟට ගලා යාම හේතුවෙන් මෙලෙස ජලය අපවිත්‍ර වී තිබෙනවා.

MonaraMonara

ඡායාරූපය - ලංකාදීප.

Colombo (Monara) June 01 – කැලණි ගඟේ ඉහළ කොටසේ කරවනැල්ල ආශ්‍රිත ප්‍රදේශයේදී එහි ජලය ඊයේ අපවිත්‍ර වීමට හේතුව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ගංගා ජලයට ඊයේ දිනයේදී තෙල් මිශ්‍ර වීමක් නිරීක්ෂණය කළ වැලි ගොඩ දමන සහ ස්නානය සඳහා ගඟ භාවිත කරන පිරිස බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්තා.

ඒ අනුව ක්‍රියාත්මක වූ යටියන්තොට සහ රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරීන්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන්, යටියන්තොට ප්‍රාදේශීය සභාව සහ ජල සම්පාදන මණ්ඩලය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ජල සම්පාදන මණ්ඩලය මගින් අපවිත්‍ර වූ ජලයේ ජල සාම්පලද ඊයේ ලබාගත් අතර එහිදී අනාවරණය වූයේ පෙරේදා කබුළුමුල්ල ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නක් ජලය අපවිත්‍ර වීමට හේතු වී ඇති බවයි.

එහි ගිනිගත් රබර් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන දැවී දියර ලෙස කැළණි ගඟට ගලා යාම හේතුවෙන් කැලණි ගඟේ ජලය අපවිත්‍ර වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.