විදුලිය කපන්න ගිය නිලධාරීන්ට දණ ගස්වා පහර දීලා: මදුරන්කුලියේදී පොලීසියට පැමිණිල්ලක්

MonaraMonara

විදුලිය විසන්ධි කිරීමේ නිරතව සිටි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට මදුරන්කුලිය - මුක්කු තොඩුවාව ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී ඇති බව මදුරන්කුලිය පොලීසිය පවසනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පුත්තලම විදුලි අධිකාරි කාර්යාලයට අනුයුක්තව විදුලි විසන්ධි කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවකයන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

මුක්කු තොඩුවාව ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික ස්ථානයේ පසුගිය මාසයක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එහි විදුලිය විසන්ධි කර, ඉන් පිටව යෑමට පැමිණෙමින් සිටියදී ඔවුන් දණගස්සවා අමානුෂික ලෙස පහර දී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අදාළ ස්ථානයට ගිය විදුලි විසන්ධි කිරීමේ සේවකයන් දෙදෙනා පවසන්නේ විදුලිය විසන්ධි කිරීමට පෙර එම ස්ථානයේ සිටි කාන්තාවක් දැනුවත් කිරීමෙන් පසු විදුලිය විසන්ධි කළ බවයි.

බිල ගෙවා දමා දන්වන ලෙසත්, ඉන්පසු පැමිණ නැවත විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් ඔවුන් දැනුම් දී තිබියදී මෙලෙස පහර දී ඇති බවයි ඔවුන් පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ.