ශ්‍රී ලංකා ටෙලිකොම් මුල් පුටුව අලුත්වෙයි: ‌රොහාන් ඉවතට-මියුලර් පුටුවට

MonaraMonara

photo-AdaderanaBZ

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අද (20) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බවයි, වාර්තා වෙන්නෙ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් පනතට අනුකුලව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස එම යෝජනාව සම්මතකර ගෙන ඇති බවයි සඳහන් වන්නෙ.

ඒ අනුව ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු වෙනුවට රියාස් මියුලර් අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත්කරගෙන තිබෙනවා.

KPMG හි මෙරට ප්‍රධානියා වන රියාස් මියුලර් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පසුගියදා පත්කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු දිගින් දිගටම විරෝධය පළකරනු ලැබූ බවට පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පළවුණා.

සාමාන්‍යයෙන් ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය පත්කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධ තීරණ ගැනීමේදී, එය මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ බවත්, එය මෙහිදී ක්‍රියාත්මක නොවූ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා.

2012 වසරේ සිට KPMG ගණකාධිකරණ ආයතනයේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ නව සභාපති රියාස් මිහුලර්, 2018 වසරේදී එහි මැදපෙරදිග සහ දකුණු ආසියාව භාර ප්‍රධානියා ලෙස පත්කෙරුණු අතර රටවල් 14ක කාර්යාල 30කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යන KPMG හි 6,500කට අධික වෘත්තිකයින් සේවය කරනවා.