උතුරේ කුල ප්‍රශ්නය ගැන රනිල් - සිද්ධාර්ථ් සාකච්ඡා: අවම පහසුකම් සහිත කුල පාසල් සීයක් සංවර්ධනයටත් යෝජනා

MonaraMonara

උතුරු පළාතේ සිව් දින සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ යාපනයේ දී සිදුව තිබෙනවා.

කුල ප්‍රශ්නය ඇතුළු උතුරේ සිවිල් සමාජය තුළ පවතින ගැටළු මෙහි දී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, එම ගැටළු නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි දී පවසා ඇත්තේ.

උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු කළ ද කුල ප්‍රශ්නය නිසා ජනතාව පිඩාවට පත්ව සිටින බවත්, යාපනය මගහැර කොළඹ ජීවත්වන දේශපාලනඥයන් එම ගැටළුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කණගාටුවට කරුණක් බවත් අරුන් සිධාර්ථ් මහතා මෙහි දී පෙන්වා දී තිබෙනවා.

උතුරු පළාතේ කුල පාසල් රැසක් පවතින නමුත් ඒවායේ අවම පහසුකම් පවා නොමැති බැවින් ගැටළු මතුව ඇති බව ද අරුන් සිද්ධාර්ථ් මහතා පැවසූ අතර ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දී තිබෙනවා.

එවැනි පාසල් 100ක් නම් කරන ලෙසත්, එම පාසල් 100 ඉදිරි මාස 06ක කාලය තුළ සංවර්ධනයට පියවර ගන්නා බවටත් ජනාධිපතිවරයා මෙහි දී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු වී ඇති අතර කුල ප්‍රශ්න ඉදිරියට දමමින් මහජන ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙන ප්‍රාදේශීය ලේකම් කාර්යල සම්බන්ධයෙන් සොයා බලන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.