සී.අයි.ඩීයට විශේෂ ආරක්ෂාවක්: අක්‍රිය වුණ සී.සී.ටීවී පද්ධතියත් අලුතින් ස්ථාපිත කරයි

MonaraMonara

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් ක්‍රියාත්මක කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, භාරයේ රඳවාගෙන සිටින 'හරක් කටා' සහ 'කුඩු සළිඳු' ව මුදාගෙන යෑමේ සූදානමක් ඇතැයි තොරතුරු අනාවරණය වූ බව එම දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) දැනුම් දී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කමාන්ඩෝ භටයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන මේ වනවිට දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලීසිය පවසන්නේ.

අදාළ සැලසුම සඳහා දායකත්වය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා හිටපු කමාන්ඩෝ සාමාජිකයින් දෙදෙනා ඒ පිළිබඳව සාකච්ඡා කරන හඬපට ද අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණ කරගෙන ඇත්තේ, අදාළ කමාන්ඩෝ භටයන් දෙදෙනා විනය හේතුන් මත යුද හමුදාවෙන් ඉවත් කර ඇති බවයි.

එමෙන් ම පුද්ගලයින් සිහිසුන්වන විෂ දුමක් යොදා, පොලිස් නිලධාරීන් සිහිසුන් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස් නිල ඇඳුමින් සැරසී ඇතුළුවීමට සූදානමින් සිටි බව අදාළ කමාන්ඩෝ භටයන් දෙදෙනා විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.

එම භටයන් ප්‍රහාර එල්ල කරන අයුරින් හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සූදානමින් සිටි බව ද ඔවුන් පවසා තිබෙනවා.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, හරක් කටාගේ සමීපතමයෙකු වන විදෙස්ගතව සැඟව සිටින 'මිදිගම චූටි' නැමැත්තා විසින් හරක් කටාව හා කුඩු සළිඳුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයෙන් මුදාගෙන යෑම සඳහා මෙම ක්‍රියාව මෙහෙයවා ඇති බවයි.

මේ අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ පොලිස්පතිවරයාගේ නියමය පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවන කණ්ඩායමක් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන් ම අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අක්‍රීයව පැවැති සීසීටීවී කැමරා පද්ධතිය ද මේ හේතුවෙන් යළි ස්ථාපිත කර තිබෙනවා.