සොෆ්ට්ලොජික් “බාටා” නතු කර ගනී: කොටස් හුවමාරුවටත් දැනුම් දෙයි

MonaraMonara

ලොව ප්‍රකට පාවහන් වෙළෙඳ සන්නාමයක් වන ‘බාටා‘ හි ශ්‍රී ලංකාවේ කොටස් වැඩි හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් අත්පත් කරගෙන තිබෙනවා.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රීටේල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම 'Bata' හි වරලත් අලෙවි හිමිකාරීත්වය ඇතුළු එහි මෙහෙයුම් අත්පත් කර ගැනීමට ඒ අනුව සමත්ව ඇති බව සඳහන්.

අද දිනයේදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම, කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබුණා.

පසුගිය සැප්තැම්බර් 14 වැනිදා මෙම මිලදී ගැනීම සිදු වුණු බවත්, එහි වටිනාමක රුපියල් මිලියන 293 ක් (293,000,000ක්) වන බවත්, මේ දක්වා Bata නිෂ්පාදන සිදුකළ Footwear Retailer Ltd සමාගමේ (මීට පෙර Bata Shoe Company of Ceylon Limited) 100% ක කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගැනීම සිදුව තිබෙන බවත් එමඟින් දක්වා තිබෙනවා.

ඒ අනුව ‘Bata’ සන්නාමයේ නිෂ්පාදන බලපත්‍රය සහ බෙදාහැරීමේ හිමිකාරීත්වය මෙන්ම ශ්‍රී ලංකාව තුළ ‘Bata’ හි වරලත් හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සතුවනවා.

Footwear Retailer Ltd සමාගම 1950 වසරේ සිට වසර 73 කට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ Bata පාවහන් සහ සපත්තු නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කළා.