සීතාගේ තත්ත්වය නරකයි: ප්‍රතිකාර කිරීම සඳහා හිමිකරුටත් සල්ලි ප්‍රශ්න
මහියංගනය රාජමහා විහාරයේ පෙරහරට සහභාගි වීමෙන් අනතුරුව මහවැලි ගඟ අසල ගැට ගසා සිටියදී වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ සීතා ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය මදක් නරක අතට හැරී ඇතැයි ඇයගේ ප්‍රතිකාර අධීක්ෂණය කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධාන මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසනවා.
සීතා ඇතින්නගේ බඩ යට ඉදිමීම් ඇති අතර තුවාල පැසවා ඇති බවත් ඇය නොනිදා සිටීමද ප්‍රශ්නයක් බවත් ඔහු කියා සිටියා.
මේ වනවිට තුවාල පැසවා තිබීමද ප්‍රශ්නයක් බවත් වෙඩි තැබූ තැනැත්තාගේ ප්‍රකාශ අනුව උණ්ඩ වැදුණු තැන් හඳුනාගත් නමුත් තවත් ස්ථානවලට වෙඩි වැදී ඇත්ද යන්න ගැන නොදන්නා බවයි දංගොල්ල මහතා පෙන්වා දුන්නේ.
ප්‍රතිකාර කිරීම සඳහා සීතා ඇතින්නගේ භාරකරුටද මුදල් සපයා ගැනීමේ අසීරුතා පැන නැගී ඇතැයිද ඔහු සඳහනස් කළා.
මේ අතර, සීතාගේ හිමිකරු වන එස්.එන්. රොෂාන් කියා සිටියේ වෙඩි වැදී දින 15ක් ගත වුවත් සීතා ඇතින්නගේ සුව දුක් බැලීමට හෝ වගකිවයුතු කිසිදු නිලධාරියකු මෙතෙක් නොපැමිණි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි මහියංගනය රාජමහා විහාරයේ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් ඇතුළුව පාර්ශ්ව රැසක් පසුගියදා බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර තිබුණා.
පසුගිය 27 වැනිදා සීතා ඇතින්නට වෙඩි වැදුණු අතර, ඒ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක නිලධාරියකු පොලිස් අත්අඩංගුවට පත්වුණා.
එම සැකකාර සිවිල් ආරක්ෂක නිලධාරියා මහියංගනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.